(අජිත්ලාල් ශාන්තඋදය සහ මහින්ද අබේරත්න)

සිංහල අලුත් අවුරුදු දිනට පෙර දිනයකදි හම්බෙගමුව සීනුක්ගල ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකළ සිද්ධියට සම්බන්‍ධ බවට සැකකරන තැනැත්තෙක් යතුරුපැදියක් ද සමග හම්බෙගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට පත් තැනැත්තා හම්බෙගමුව ප්‍රදේශයේ ම පුද්ගලයෙක් බව පොලිසිය කියයි.

පසුගිය 12දා රාත්‍රී සීනුක්ගල ප්‍රදේශයේ දී එම වෙඩිතැබීම සිදු තිබේ. වෙඩි වැදීමෙන් පුද්ගලයින් දෙදෙනක් තුවාල ලැබීය. ඔවුන් ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය දිසා මහ රෝහලවෙත යවා තිබුණි. එක් පුද්ගලයෙක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ තවමත් නේවාසිකව ප්‍රතිකාර ගන්නා බව ද පොලිසිය පැවසුවේ ය. තුවාලකරුගේ තත්ත්වය බරපතල නැති බව ද සඳහන් කළේ ය.