( හර්ෂණ තුෂාර සිල්වා සහ රංජන් කස්තුරි)

කාණ්ඩ 11කට අයත් භාණ්ඩ 623ක් ආනයනය කිරීමේදී සියයට සියයට ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සැප්තැම්බර් 8 වැනිදා රැස් වූ අතර එහි දි මෙම තීරණය ගෙන තිබේ.

එ අනුව බලපත්‍රලාභී වාණිජ බැංක සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ණයවර ලිපි (එල්.සී.) සහ ප්‍රතිග්‍රහණය මත ලියිවිලි (ඩී.ඒ) ලබාදීමේ කොන්දේසි යටතේ අත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වේ.

මෙම ක්‍රියාමාර්ගය අනුව යම් කිසි අයකු පහත සඳහන් භාණ්ඩ ආනයනය කිරීමේ දී ඒවායේ සම්පූර්ණ වටිනාකම බැංකුවේ තැන්පත් කළ යුතු වේ.

විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළේ ද්‍රවශීලතාව රැක ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

“ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව පැනවීමට ගත් තීරණය විශේෂයෙන්ම සමපේක්ෂණ ස්වභාවයේ අධික ආනයන අධෛර්යමත් කිරීම ඔස්සේ විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව රැක ගැනීම සඳහා දැනටමත් සිදු කෙරෙන උත්සාහවලට සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන” බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.