(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හදිසි නීතිය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී  හෙට (27) දවස පුරා පැවැත්වේ.

විවාදය අද පෙරවරු 10.00 සිට පස්වරු 4:30 දක්වා පැවැත්වෙන අතර  හදිසි නීති ප්‍රකාශනය  විවාද කිරීමෙන් අනතුරුව අද පස්වරුවේ සම්මත  කරගැනීමට නියමිතය.

පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) පෙරවරු 10.00 ට රැස්වෙයි.

වර්තමාන ජනාධිපතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස සිටියදී  මෙම  හදිසි අවස්ථා නිවේදනය  ප්‍රකාශයට පත් කරනු ලැබුවේ  මහජන ආරක්ෂක පනත යටතේය.

එවකට  වැඩබලන ජනාධිපතිවරයා 2022 ජූලි 17 දිනැති අංක 2288/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් මෙම හදිසි නීති ප්‍රකාශය  කළේය.  නෛතික ප්‍රතිපාදන අනුව එම හදිසි අවස්ථා ප්‍රකාශනය දින 14 කදී   පාර්ලිමේන්තුවේ අනුමතිය ලබා නොගතහොත් එය අවලංගු වී යනු ඇත.

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජිවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා  පවත්වා ගෙන යෑම සඳහා මහජන ආරක්ෂක ආඥාපනතේ ජනාධිපතිවරයා සතු බලතල ප්‍රකාරව මෙම නිවේදනය නිකුත් කර ඇති බව එම  ගැසට් පත්‍රයේ සදහන් වේ.