(රෝෂන් තුෂාර)

ගාල්ල උණවටුන රූමස්සල පිහිටි ප්‍රසිද්ධ විද්‍යාලයකට දරුවන් දෙදෙනකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ හයක මුදලක් ඉල්ලා රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබා ගත්තේ යැයි කියන විදුහල්පතිවරයෙකු අල්ලස් දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගැනිණි.

දරුවාගේ මව කරන ලද පැමිණිල්ලක් අනුව හබරාදූව ගාල්ල පිහිටි ප්‍රසිද්ධ වෙළෙඳ සැලැක් තුළදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ලක්ෂ දෙක හමාරක අල්ලස්සක් ලබා ගැනීමේදී මෙලෙස අත්අඩංගුවට පත් වූයේ දිගරැන්ද අහගම පදිංචි රංජිත් පොන්සේකා නමැති සැකකරුවෙකි.

2026 පළමු වසරට හා 8 වසර පන්තියට සිය දරුවන් දෙදෙනා ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ හයක මුදලක් ඉල්ලා සිටි සැකකරු පසුව එකි මුදල රුපියල් ලක්‍ෂ 03 ක් දක්වා අඩුකර එයින් රුපියල් ලක්‍ෂ එකහමාරක මුදලක් ලබා ගත් බව පැමිණිලිකාරිය අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇත. රුපියල් ලක්ෂ තුන ලබා දුන් පසුව තවත් මුදල් ඉල්ලා ඇති සැකකරු එම මුදල් ලබා නොදෙන්නේ නම් දරුවන් දෙදෙනා පාසලෙන් ඉවත් කරන බවට දැන් වූ හෙයින් පැමිණිලිකාරිය මෙසේ පැමිණිලි කර ඇත.

රුපියල් ලක්ෂ දෙක හමාරක මුදල ලබා ගැනීමේ හා ඉල්ලා සිටීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරු අද දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.