(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

අදාල තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති අපරාධ පැමිණිල්ල වළකා ලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම ජනවාරි 23 වැනිදා වැඩිදුර විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණ.

මෙම පෙත්සම ඊයේ (17) විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා කියා සිටියේ මෙම සිතාසි නිකුත් කර ඇත්තේ කිසිඳු පදනමකින් තොරව බවත් එය කොමිසමේ වාර්තාවේ කරුණු පමණක් පදනම් කර ගෙන නිකුත් කළ සිතාසියක් බවත් ඒ පිළිබඳ වෙනත් සාක්ෂියක් හෝ කරුණු ඉදිරිපත් කර නොමැති බවත්ය.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ කීර්ත් තිලකරත්න මහතා සමඟ ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා පෙනී සිටියහ.

නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත විරසුරිය මහතා පෙනී සිටියේය.