(සුජිත් හේවාජුලිගේ)

සියලු බාධක අභියෝගයන් නොබියව ජයග්‍රහණය කරගනිමින් සෞභග්‍යමත් අනාගතයක් සහිත දේශයක් ගොඩනැගීම වෙනුවෙන් අත්වැල් බැදගනිමු’ යැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් සියලු දෙනාට ආයාචනා කරයි.

එම පණිවිඩයේ මෙසේද සඳහන්වේ.

සොබා දහමේ වසන්ත උදානයත්, සාම්ප්‍රදායික සූර්ය දින දර්ශනයට අනුව සූර්යා මීන රාශියෙන් මේශ රාශියට පැමිණිමත් සනිටුහන් කරමින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අද දිනට යෙදී තිබේ. එම නිසා ප්‍රථමයෙන්ම දේශිය ශ්‍රී ලාංකික ජනතාවට මෙන්ම ගතින් මව්බිමෙන් දුරස් වුවත් මේ මොහොතේ හෘදයාංගමව මව්බිම සමග බැදෙන විදේශයන්හී වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවටත් සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවායි මම ප්‍රාර්ථනා කරමි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය හුදෙක් නව වසරක උදාවක් පමණක් නොව ශ්‍රී ලාංකික සංස්කෘතික උරුමයක් අනාගත පරපුරට පවරමින් මහත් උද්‍යෝගයෙන් යුතුව සමරන්නා වූ ජාතික උත්සවයකි. ඒ වගේම නව වසරක උදාවත් සමඟ සාමය, සතුට, සෞභාග්‍ය වගේම එක් ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයින් එකට එක්ව , එක් වේලාවකින් තම දෛනික වැඩ ඇරඹිමත් මගින් ජාතියක් ලෙස අපගේ එකමුතුකම ලොව හමුවේ පිළිඹිබු කරයි.

අලුත් අවුරුද්දේ සැබෑ සංකේතයන් වන්නේ ද පැරණි අමනාපකම් වාද-බේද දුරැර, නව අරමුණුවලින් සන්නද්ධව සහයෝගීත්වය-සහෝදරත්වය වර්ධනය කරගෙන නව වසරේ දී තම ජිවීතවලට නව ආරම්භයක් ගැනීමයි.

ආර්ථීක වශයෙන් රටේ පැවතී අර්බුදකාරි අභාග්‍යමත් සමයෙන් ටිකෙන් ටික මිදෙන මොහොතක් මේ වන විට අප පසුකරමින් සිටියි. ඒත් සමග ගෙවුනු වසරේ දී රටක් වශයෙන් දිත්වා වැනි විශාල ස්භාවික විපතකට අභීයෝගාත්මකව මුහුණ දීමට ද සිදු විය. නමුත් ඉන් නොවැටි ඉතා එක්මනින්ම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස යළි නැගී සිටීමට අපට හැකි විය. එම ධෛර්‍යසම්පන්න ශක්තිය මේ මොහොතේ අත් දකිමින් ඉන්නා වූ මැද පෙරදිග යුධමය අභීයෝගයට මුහුණ දීමට ද අපට උපකාරී වනු ඇත. ඒ නිසා මේ වසරේ උදා වූ අලුත් අවුරුද්ද, සහයෝගීත්වය, එකමුතුකම වැනි අලුත් අවුරුද්දේ සැබෑ අර්ථයන් ප්‍රායෝගික කරන්නා වූ වසරක් බවට මම විශ්වාස කරමි.

එනයින් පැමිණෙන සියලු බාධක අභියෝගයන් නොබියව ජයග්‍රහණය කරගනිමින් සෞභග්‍යමත් අනාගතයක් සහිත දේශයක් ගොඩනැගීම වෙනුවෙන් අත්වැල් බැදගනිමු’යි යන්න ඔබට ආරාධනා කරමි. අප සැමගේ එම පොදු අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් අප ඉදිරියටත් ඔබ අප වෙත තැබූ විශ්වාසය රකිමින් ඒ වෙනුවෙන් කැපවෙන්නෙමු.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!