(අංජුල මහික වීරරත්න)

මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හදුනාගත් ප්‍රධානතම අභියෝගය බෝනොවන රෝග බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එය  පාලනයට හා  වැලැක්වීමට සුදුසුම විසදුම මෙරට  ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම බව කී අමාත්‍යවරයා ඒ් සදහා  දැනට නියමු ව්‍යාපෘතියේ ක්‍රියාත්මක අත්  දැකීම් ද පාදක කරගනිමින් මෙම වසරේ  ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ ශ්‍රී දළදා මාලිගාවේ  සේවා කාර්ය මණ්ඩල, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙන්ම ශ්‍රී දළදා මාලිගාවේ සේවයේ නිරත ආරක්ෂක අංශ සාමාජිකයන් සහ ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රය ආශ්‍රිත ආයතනවල කාර්ය  මණ්ඩලය වෙනුවෙන් පැවැත්වූ විශේෂ “ආරෝග්‍යා” ජංගම සුව සායනයට එක් වෙමිනි.

මෙම “ආරෝග්‍යා” ජංගම සුව සායනයේ දී  අක්ෂි, දන්ත, දියවැඩියා, ශ්වසන පද්ධතියට අදාළ රෝග පරීක්ෂා කිරීම, රුධිර පීඩන පරීක්ෂාව, ECG පරීක්ෂාව, දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, නිදර්ශක ලබා ගැනීම, කොලෙස්ට්‍රෝල් පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව,  ආයුර්වේද වෛද්‍ය, මානසික උපදේශක සේවා සහ පෝෂණවේදී උපදෙස් ලබාදීම  ඇතුළු වෛද්‍ය සායන රැසකින් සමන්විත විය.

කොළඹ ජාතික රෝහල,මහනුවර ජාතික රෝහල ඇතුළු අවට රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සේවයේ නියුතු  විශේෂඥ වෛද්‍යවරුන් , වෛද්‍යවරුන් , හෙද හෙදියන්, පරිපූරක හා අතුරු  වෛද්‍ය සේවා වෘත්තිකයන්  මෙන්ම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය එකසිය පනහකට අධික පිරිසක් තමසේවා දායකත්වය මෙම ජංගම සුව සායන සදහා ලබා දී තිබිණි.