(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම පසුගිය වසර තුන තුළදී සියයට 60 කට අධික ප්‍රතිශතයක වර්ධනයක් වාර්තා කර ඇති බවත් එම ආදායම් වර්ධනයට ප්‍රධාන හේතුව මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකර් ඇළවීමෙන් ප්‍රශස්ත ලෙස බදු ආදායම ලැබීම බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවේ මත්පැන් නිෂ්පාදනාගාරවල නිපදවන සියලුම මත්පැන් බෝතල්වලින් නියමිත පරිදි බදු අයකිරීම මෙම ආරක්ෂිත ස්ටිකර ව්‍යාපෘතියේ අරමුණ වූ අතර ඒ අනුව මෙරට නිෂ්පාදනය කරන සියලුම මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරය ඇළවීමේ ව්‍යාපෘතිය 2022 වසරේ ජනවාරි මස ආරම්භ කළ බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම ව්‍යාපෘතිය ආරම්භ කළ 2022 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 170 ක් හෙවත් රුපියල් කෝටි 17,000 ක ආදායමක් ඉපයූ අතර එම ආදායම 2021 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 30 ක් හෙවත් රුපියල් කෝටි 3,000 ක් වර්ධනයක් බව කියන එම දෙපාර්තමේන්තුව එම ආදායම තවදුරටත් වර්ධනය වෙමින් 2023 වසරේ රුපියල් බිලියන 178 ක සහ 2024 වසරේ රුපියල් බිලියන 226 ක ආදායමක් ඉපයීමට සමත් වූ බව ද සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුව 2025 වසරේ ජනවාරි මස 1 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා මාස නවයක කාලය තුළ රුපියල් බිලියන 190 ක සුරාබදු ආදායමක් උපයා ගැනීමට සමත් වූ අතර රජය 2025 වර්ෂයට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 242 ක් බවත් ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස 9ක කාලය සඳහා වූ ඉලක්කය රුපියල් බිලියන 177ක් පමණක් වූ බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව ඉලක්කගත ආදායමට වඩා රුපියල් බිලියන 13.4ක ආදායමක් සුරාබදු දෙපාර්තමේන්තුව උපයා තිබූ අතර එම ආදායම් ඉපයීමේ වර්ධනය සියයට 107 ප්‍රතිශතයක් ඉක්මවා තිබූ බවත් එය 2024 වර්ෂයට සාපේක්ෂව සියයට 18 ක වර්ධනයක් බවත් එවකට සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා ප්‍රකාශ කර තිබුණි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අවස්ථාවේදී බොහෝ මත්පැන් නිෂ්පාදන සමාගම් මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරය ඇළවීමට කටයුතු කර නොමැති නිසා රජයට හිමිවිය යුතු සුරාබදු ආදායමෙන් සියයට 50ක් පමණ අඩුවන බවට චෝදනා එල්ල වූ අතර ඒ පිළිබඳව පරීක්ෂණ සහ වැටලීම් කරමින් සුරා බදුදෙපාර්තමේන්තුව ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට පියවර ගත්තේය. ඒ හේතුවෙන් මෙම ව්‍යාපෘතිය තුළින් බලාපොරොත්තු වූ ප්‍රධාන ඉලක්කය වන බදු ආදායම ඉහළ නංවීම සාර්ථක වී ඇති අතර මෙම ව්‍යාපෘතියේ සෙසු ඉලක්කයන් වන ප්‍රමිතියෙන් යුත් මත්පැන් නිෂ්පාදන රට තුළ ඇති කිරීම සහ ප්‍රමිතියෙන් තොර ව්‍යාජ මත්පැන් පහසුවෙන් හඳුනා ගැනීම ආදී ඉලක්ක ද මේ වන විට සාර්ථකව සම්පූර්ණ කරගෙන තිබේ.

මෙරට මත්පැන් නිෂ්පාදනාගාරවල නිපදවන සියලුම මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකර් ඇළවීම 2022 වසරේ ජනවාරි මස 3 වැනිදා ආරම්භ කළේය. මෙම ස්ටිකර් ඇළවීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ මැඩ්රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස්  (MSP) ආයතනය භාරගත් අතර කොන්ත්‍රාත්තුවට අනුව ආරක්ෂිත ස්ටිකර් 1,000 ක් වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් 5.99 ක මුදලක්  MSP ආයතනය වෙත ගෙවීය. ඒ අනුව එක් ආරක්ෂිත ස්ටිකරයක් වෙනුවෙන් රුපියල් 1.21 ක් වැය වන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණි

මෙම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන සුරාබදු බලපත්‍රලාභී  විවිධ මත්පැන් නිෂ්පාදන ආයතන 70ක් මෙන්ම මත්පැන් ආනයන කරන ආයතන 18ක් සම්බන්ධීකරණය කරමින් ආරක්ෂිත ස්ටිකරය යොදන බවත් වර්ග දෙකකින් යුක්ත වන මෙම ආරක්ෂිත මුද්‍රාවන්, ආරක්ෂිත ස්ටිකර්  (Foolproof Stickers) සහ ආරක්ෂිත ඩිජිටල් මුද්‍රණයන්  (Digital Printing) ලෙස හඳුන්වාදෙන බවත් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මත්පැන් නිෂ්පාදන ආයතනවල පවතින තාක්ෂණය සහ නිෂ්පාදන ධාරිතාව අනුව කවර ආරක්ෂිත මුද්‍රාවක් යොදාගන්නේ ද යන්න තීරණය කරන අතර මෙම ස්ටිකරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපර පිළිබඳව කාරක සභාව හෙවත් ‘කෝප්’ කමිටුවේ නිර්දේශ මත නව යෙදුවමක් සකස් කර ‘සර්ට්’ ආයතනයට යොමුකර තිබේ.