ලෝ ප්‍රකට ඇමෙරිකානු සී.එන්.එන්. පුවත් සේවයේ නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 87 කි. ටෙඩ් ටර්නර් මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයකු පමණක් නොව, දක්ෂ ව්‍යාපාරිකයකු, මානවහිතවාදියකු ද සහ පරිසර සංරක්ෂණවේදියෙකි.

සී.එන්.එන්. පුවත් සේවය හරහා රූපවාහිනී පුවත් කලාව නව මානයකට ගෙන යෑමේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ද ටෙඩ් ටර්නර්ය. සී.එන්.එන්. පුවත් නාළිකාව පැය 24 පුරා ක්‍රියාත්මක වෙයි. ඇමෙරිකාවේ පැය 24 පුරා විකාශය කටයුතු සිදුවන පළමු පුවත් නාළිකාව ලෙම ටර්නර් සී.එන්.එන්. හඳුන්වා දුන්නේය.

න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් වෙනුවෙන් හඬ නැගූ මානව ක්‍රියාකාරියකු ලෙස ද ටර්නර් ප්‍රකටය. 1997 දී ටර්නර් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇමෙරිකන් ඩොලර් බිලියනයක් පරිත්‍යාග කළේය. එක්සත් ජාතීන්ගේ පදනම පිහිටුවීම සිදුවූයේ ඒ අනුවය.

ටෙඩ් ටර්නර්, පරිසර සංරක්ෂණවේදියෙකි. ඇමෙරිකාවේ වඳවුණු බයිසන් ගවයන් යළි ඇමෙරිකාවට හඳුන්වා දුන්නේ ද ටර්නර්ය.

ඊට අමතර කුඩා දරුවන්ට, පරිසරය සුරැකීම කියාදීමේ අරමුණින් ළමා වැඩසටහන් නිර්මාණය කිරීමට ද ටර්නර් දායක විය. ඒ අතරින් ‘කැප්ටන් ප්ලැනට් ඇන්ඩ් ද ප්ලැනටියර්ස්’ කාටූන් කතා පෙළ 90 දශකයේ ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය.

ටර්නර් සිය ව්‍යාපාර දියුණු කළේ පියාගේ දැන්වීම් පුවරු ව්‍යාපාරය වැඩි දියුණු කරමිණි. පළමුවෙන් ඔහු කුඩා රූපවාහිනී ආයතනයක් මිලදී ගත් අතර එය ‘ටීබීඑස්’ (ටර්නර් බ්‍රෝඩ්කාස්ටිං කොම්පැනි) යනුවෙන් නම් කළේය. සී.එන්.එන්. පුවත් සේවය ආරම්භ කෙරුණේ 1980 දී එම කුඩා රූපවාහිනී ආයතනය වැඩි දියුණු කරමිණි.