(අංජුල මහික වීරරත්න)

 ' යතිවර මාපිය නිවහන ' ජාතික වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

බුද්ධ ශාසනයේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම පිණිස දරුවන් පැවිදි බිමට එක් කර ඇති, ආර්ථික වශයෙන් දුෂ්කර මට්ටමක සිටින නිවසක් අහිමි මාපියන්ට නිවසක් තනා දීම අරමුණු කර ගනිමින් ' යතිවර මාපිය නිවහන ' ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. 

දැඩි ආර්ථික දුෂ්කරතාවෙන් පෙළෙන පවුල්වල දරුවන් ශාසනයට දායාද කර ඇති මව්පියන් වෙත ශාසනික කෘතගුණ දැක්වීමක් ලෙස මෙම වැඩසටහන දියත් කෙරේ. වැඩසටහනේ මූලික අදියර වශයෙන් 2026 වසරේ සිට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි නිවාස 1,000 ක් ඉදිකිරීමටත්, දැනට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ' තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් නිවාස වැඩසටහනේ අනුබද්ධ වැඩසටහනක් ලෙස ' යතිවර මාපිය නිවහන' ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇත. 

යෝජිත වැඩසටහන යටතේ හඳුනාගනු ලබන ප්‍රතිලාභීන්ට නව නිවසක් ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරින්ගේ නිර්දේශ අනුව රුපියල් මිලියන 1.5 ක මූල්‍යාධාරයක් ලබා දෙන අතර, නිවාස ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ දායකත්වය උපරිම වශයෙන් ලබා ගැනීමට ඉඩ සලසා දෙනු ඇත. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා  සහ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.