(නෝර්වුඞ් රංජිත් රාජපක්ෂ)
නාවලපිටියේ පිහිටි දුම්රිය සේවක විවේකාගාරයට යන දුම්රිය රියැදුරන් දෙදෙනකු සහ දුම්රිය ආරක්ෂක නිලධාරීන් සිව්දෙනකු වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නාවලපිටිය දුම්රිය ස්ථානයට වසර තුනක් තිස්සේ දිනපතා ධාවනය කෙරුණු දුම්රියක් වහාම නතර කරන ලෙස දුම්රිය සේවා රාජ්‍ය ඇමැති සී.බී. රත්නායක මහතා නියෝග කර ඇත.
හැටන් දුම්රිය ස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක යෙදුණු රාජ්‍ය ඇමැතිවරයාට මෙම සුවිශේෂී දුම්රිය ගැන දැනගන්නට ලැබුණු විට ඔහු හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයාට සහ අදාළ දුම්රිය බලධාරීන්ට එම නියෝගය නිකුත් කර ඇත.
දිනපතා කොළඹින් දවල් 12.15ට ගමන් ආරම්භ කරන මගී ප්‍රවාහන දුම්රිය මහනුවරට ළඟාවීමෙන් පසුව එහි සිට හැටන් දුම්රිය ස්ථානයට ධාවනය කෙරේ.
දිනපතා රාත්‍රි 8.30 ට හැටන් දුම්රිය ස්ථානයට ළඟා වන එම දුම්රියේ මැදිරි කිහිපයක් හැටන් දුම්රිය ස්ථානයේ ගාල්කෙරෙන අතර ඉන්පසුව දුම්රිය එන්ජිම සහ ආරක්ෂක නිලධාරින් ගමන්ගන්නා මැදිරිය පමණක් කිලෝමීටර 50 පමණ එපිටින් පිහිටි නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත ධාවනය කෙරේ. මෙම දුම්රියේ ගමන් ගන්නේ නාවලපිටියේ දුම්රිය සේවක විවේකාගාරය බලායන දුම්රිය රියදුරන් දෙදෙනකු සහ ආරක්ෂක නිලධාරීන් සිවු දෙනෙකු පමණි. මගීන්ට එම දුම්රියෙන් ගමන්කිරීමට ඉඩ නොලැබේ.
පසුදින අලුයට 3.00ට එම දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත ධාවනය කෙරෙන අතර එහිදී සෙසු දුම්රිය මැදිරිද අමුණාගෙන අලුයම 5.30 ට මහනුවර බලා ධාවනය කෙරේ.
නාවලපිටිය දුම්රිය ස්ථානයේ දුම්රිය එන්ජිම ගාල්කර තැබෙන මුළු කාලය තුළදීම දුම්රිය එන්ජිම ක්‍රියා විරහිත නොකරන බවටද තමාට පැමිණිලි ලැබී තිබිණියැයි රාජ්‍ය ඇමැති සී.බී. රත්නායක මහතා කීය.
දුම්රිය රියැදුරන් දෙදෙනකුට සහ ආරක්ෂක නිලධාරීන් සිවුදෙනකුට විවේක ගැනීම සඳහා කාලයක් තිස්සේ විශාල වියදමක් දරමින් හැටන් සිට නාවලපිටියට දුම්රියක් ධාවනය කෙරී ඇති බව කී රත්නායක මහතා තවදුරටත් මීට ඉඩ දිය නොහැකි නිසා මින් ඉදිරියට දිනපතා එම දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ ගාල්කර තබන ලෙස නියෝග කළ බවද පැවසීය.
දුම්රිය සේවය ලාබ ලබන තත්ත්වයට පත්කර දුම්රිය ස්ථාන හරිත දුම්රිය ස්ථාන බවට පත්කිරීම තම අරමුණ බවද රත්නායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේවාට තමයි සැබෑම සැබෑ හොරු ඇල්ලීම කියන්නේ. හාල්මැස්සෙක් වුණත් අහක දාන්න බැහැ. කොමිෂන් නෑ. බොරු පරීක්ෂණ නැහැ. මාධ්‍ය ප්‍රදර්ශන නැහැ. අමාත්‍යවරයාම සෘජුව නිරීක්ණය හා අවබෝධය තුළින් තීරණ ගන්නවා.
මේ කට්ටිය ස්ට්‍රයික් කරනකොට... අපි හොඳයි ආණ්ඩුව නරකයි.
ඉතා හොඳ තීරණයක්. රට හරි මග ගමන් කරන බව පෙනේ. මේ වෙනසට මටත් දායක වීමට හැකි වීම ලොකු සතුටක්..
මොවුන් ලබාගත් අතිකාල දීමනා ආදිය පිළිබඳවත් සොයාබලා අමන නිලධාරීන්ගෙන් නැවත අය කරගත යුතුයි. වර්ජන කරන මුවාවෙන් කළ දේවල් නේද?
නවත්තලා විතරක් හරියන්නේ නෑනේ. අලාභය අය කරගන්න.
මේවට ඩිස් ලයික් දාන අයත් ඉන්න රටක අපි ජීවත් වෙන්නේ.
කෝ කෝ මේ පහුගිය ටිකේ ස්ට්‍රයික් කරපු කට්ටිය ? මේකට ස්ට්‍රයික් කරන්නේ නැතෙයි ? ... බයෙයි ?
මෙම වාර්තාවට අදාල නොවෙතත් කරුණාකර මෙය පල කරන්න. 1. දුම්රිය සැමදාම බොහෝ වෙලාවක් ප්‍රමාදයි. 2. කරුණාකර හික්කඩුව දුම්රිය ගාල්ලට ධාවනය කරන්න. අපි ගාල්ලට සීසන් අරගෙන බස් එකට රුපියල් 40/= දීලා බස් එකේ යනවා. කොටුවෙන් මෙහා නගින අයට යන්න තියෙන්නේ සමුද්‍ර දේවි විතරයි. ඒක ගාල්ලට යනකොට හැමදාම රෑ 8.30 පහු වෙනවා. ගරු ඇමතිතුමනි, දුම්රිය සේවා රාජ්‍ය ඇමතිතුමනි කරුණාකර මෙය ඉටු කර දෙන්න. එතකොට අපිටත් කලින් ගෙදරට යන්න පුළුවන්. අපි අාපහු උදේ 3.30ට නැගිටලා ඊට පසු දිනත් වැඩට එන්න ඕනෑ.
මම දන්න තරමට 12.15 දුම්රියක් නැත. දුම්රිය ධාවනය වන්නේ 12.40ට... විශේෂයෙන් දුම්රිය වේලාව සඳහන් කරද්දී නිවැරදි වේලාව සටහන් කරන්න.
හැම දෙයකටම වර්ජනය කරන අර රියදුරු සංගමේ ඉන්දික දොඩන්ගොඩ මේවා දැක්කේ නැද්ද?
නියමයි ඇමතිතුමනි, ඔබට අපේ ප්‍රණාමය...! දුම්රිය සේවකයන් ඉතා ඉහළ වැටුප් ගන්නා අතර, පොඩි දේවල් වලට වැඩ වර්ජන වල යෙදෙයි. මෙවැනි මහජන මුදල් කාදැමීම වහා නතර කළ යුතුයි. ඔබට ජය...!!!
එන්ජින් එක නම් off කරන්නේ නැහැ... පැය ගාණකට..
දුම්රිය සේවාව පාඩු ලබන එක අහන්නත් දෙයක්ද.? මෙයට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න. අනෙක් අයට පාඩමක් වෙන්න.
මේ අන්තනෝමතික ක්‍රියාව නිසා දවසකට දුම්රියක් ධාවනය වන වියදමට සමාන වියදමක් දරන්න වෙනවා නේද? ඒ කියන්නේ ලක්ෂ කිහිපයක් (මා ගණන් මිනුම් හරියට දන්නේ නැත) රුපියල් ලක්ෂ 1 (එම ගණන ඊට වඩා බොහෝ වැඩිය) නම් මසකට ඔවුන්ට රුපියල් ලක්ෂ 30ක් වසරකට ලක්ෂ 365ක් සහ වසර 3ට ලක්ෂ 1000ක් පමණ මොවුන් 6 දෙනාට පමණක් දුම්රිය දෙපාර්තමේන්තුව වියදම් කර ඇත. කරුණාකර මේ අත්තනෝමතික මුදල් කාබාසිනියා කළ අදාල සියලු දෙනාට දඬුවම් දෙන්න..
මෙන්න මේවගේ හැම ආයතනයකම තියන අක්‍රමිකතා බලලා නිසිකලට නිසි තීරණ ගත්තොත් රටක දියුණුව නවත්වන්න බැහැ.
දුම්රිය සේවකයන් වැඩ වර්ජනය කරලා කේවල් කරලා අති විශාල වැටුපක් උපයාගන්නවා. ලඟකදී සතිඅන්ත පත්තරේක තිබුණා දුම්රිය රියදුරන්ට සහ දුම්රිය නියාමකයන් සේවය නොකර නිදාගෙන ඉන්න වෙලාවටත් අතිකාල ගෙවනවා කියලා. කොච්චර අසාධාරණද එහෙම උපයන සල්ලි? වර්ජනය කරන සේවකයන් මේවා ගැන නිහඬයි නිරුත්තරයි. මාධ්‍ය බොරුනම් කියන්නේ නඩුදාන්න පුලුවන්නේ මාධ්‍ය වලට විරුද්ධව. නිදාගන ඉන්න සේවකයින්ට වැටුප් ගෙවන්න දුම්රිය දෙපාර්තමේන්තුවට ලැජ්ජා නැද්ද? ගරු ඇමතිතුමන්ලා දෙපල මෙන්න මේවා ගැනත් හොයලා බලන්න.
මෙම ප්‍රවෘත්තියේ සඳහන් පරිදි ප්‍රධාන වැරදිකරු වන්නේ් හැටන් සේවා ස්ථානයේ අතිකාල රාත්‍රී සේවා සඳහා නාවලපිටියේ පදිංචි සේවකයන් යොදවාගත් නිලධාරියාය. සේවා මුර සඳහා සේවකයන් අනුයුක්ත කරනුයේ එම අදාල සේවකයන් විසින්ම නොව ඉහළ නිලධාරින් විසින් බැවිනි. මේ එක් සිදුවීමක් පමණි. වඩා වැදගත් වනුයේ අනෙකුත් සියළු රාජ්‍ය ආයතන, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල මෙවැනි එක් සිදුවීම බැගින් නවත්වා ගතහොත් රාජ්‍ය අයවැයේ වැය ශීර්ෂය සම්පූර්ණයෙන් පියවා ගත හැකිවනු ඇත...