(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

විශේෂඥ වෛද්‍යවරයකු පැදවූ මෝටර් රථයක ගැටී විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයකු බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මත්තේගොඩ පොලිසිය පවසයි.

තුවාල ලැබූ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයාගේ හිසට දෙපාවලට තුවාල සිදුව ඇති අතර හිස ශල්‍යකර්මයකට යොමු කර ඇති බව පැවසේ.

මෙම පොලිස් පරීක්ෂකවරයා කොට්ටාව දෙස සිට පොල්ගස්ඕවිට දෙසට පා ගමනින් නිවසට එමින් සිටියදී පොල්ගස්ඕවිට දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථය මාර්ගයේ විරුද්ධ මං තීරුවට විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයාගේ සිරුරේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරෙන් පසුව මෝටර් රථය නොනවත්වා පලාගොස් ඇති අතර ඒ බව දුටු පුද්ගලයකු ක්ෂණයකින් ක්‍රියාත්මක වී මෝටර් රථයේ අංකය හා හැඩරුව 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දී තිබුණි

ඒ අනුව ක්‍රියාත්මක වූ මත්තෙගොඩ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් කිලෝමීටර් 4 ක් පමණ මෝටර් රථය පසුපස හඹාගොස් කොට්ටාව නගරයේ දී මෝටර් රථය සහ එය පැදවූ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වනවිට රියදුරු අධික ලෙස බීමතින් සිටියේ දැයි සොයයි

පසුව රියදුරු අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමේදී ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නිරත විශේෂඥ වෛද්‍යවරයකු බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.