‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුව, ලබන 12 සහ 13 දෙදින ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී පැවැත්වෙන අතර, ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් ද ඊට සහභාගී වනු ඇත. 

සමුළුව අතරතුරේ තමන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව පෙසෙෂ්කියන් පවසා තිබේ. ඉරාන ජනාධිපතිවරයා ඉන්දියාව බලා යන්නේත්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි හමුවන්නේත්, ඇමෙරිකාව සහ ඉරානය අතරේ යුදමයතත්ත්වයක් පවතින අවස්ථාවක වීම විශේෂත්වයකි.

මේ වනවිට ඉරානය මට්ටු කිරීමේ අරමුණින්, පෙර නොවූ විරූ ආකාරයට ඉරානයට ආර්ථිකමය සම්බාධක පැනැවීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් අවහිර කරනු ලැබ ඇති බැවින්, නාවික ගමනාගමන කටයුතු අඩාල වී බොර තෙල් මිලද ඉහළ යමින් පවතී.

ඉන්දියාවත් ඉරානයත් අතර පවතින වසර ගණනාවක මිතුදම් තවත් ශක්තිමත් කර ගැනීමට ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන්ට හැකි වනු ඇතැයි ඉරාන නායකත්වය පවසයි.

‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල ප්‍රධානත්වයෙන් පිහිටුවා ගත් සංධානයයි. ඉරානය සහ තවත් මැදපරෙදිග රටවල් කීපයක් ද මේ වනවිට ‘බ්‍රික්ස්’ සමුළුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරයි.