(මනෝප්‍රිය ගුණසේකර)

විභාග අක්‍රමිකතාවයන් කර තමන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් නිරපරාදේ නාස්ති කිරීම හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු පාලනාධිකාරියෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු සිසුවකු නුගේගොඩ දිසා අධිකරණයේ වන්දි නඩුවක් ගොනු කළේය.

මුලින් විභාගය අසමත් වූ බව දැනුම් දී තිබියදී කිසිදු විභාගයක් හෝ නොපවත්වා පසුව අවස්ථාවක විභාගය සමත් කර ඇති බව දැනුම් දෙමින් විශ්වවිද්‍යාල බලධාරීන් විසින් උපාධි ප්‍රධානෝත්සවයක්ද පවත්වා ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාර සිසුවා මුලින් විභාගය අසමත් කළ සිසුන් යළිත් විභාගයක් හෝ නොපවත්වා පසු අවස්ථාවක විභාගය සමත් කළේ කෙසේද? යන්න පිළිබඳව විශ්ව විද්‍යාල පාලනාධිකාරියෙන් තමන්ට මෙතෙක් සාධාරණ හේතුවක් ඉදිරිපත් කර නැතැයිද පවසමින් වන්දි නඩුව ගොනුකර ඇත.

විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් සිසුවකු මාර්ගයෙන් තමාගෙන් රුපියල් 80000/- ක මුදලක් ඇගේ ගිණුමට බැර කරන ලෙස ඉල්ලා සිටි බවද කොළඹ විශ්ව විද්‍යාලයේ ගුරුවරුන්ට මුදල් දීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සිද්ධීන් හේතුවෙන් ඔවුන් තමා සමග අමනාපයෙන් පසුවීම නිසා ඔවුන් තමා විභාගයෙන් අසමත් කළ බවද පවසමින් කොළඹ සරසවියේ සිසුවෙකු වූ සනත් කුමාර අතුකෝරළ මහතා විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් වන්දි ඉල්ලා මෙලෙස නඩු පවරා ඇත.

සනත් කුමාර අතුකෝරළ මහතා මෙලෙස නඩු පවරා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ කථිකාචාර්යවරුන් වන ඩී.සී.එල්. දියගුආරච්චි, ඩබ්ලිව්.පී. ප්‍රේමරත්න, එහි අංශ ප්‍රධානී සෂිකා අබේධීර මනෝරත්න, පීඨාධිපති එච්.එම්. නිහාල් හෙන්නායක, විභාග අංශයේ අතිරේක ලේඛකාධිකාරී වජිරා හපූහින්න ජයරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති එච්.ඩී. කරුණාරත්න, උපකුලපති ඉන්දික මහේෂ් කරුණාතිලක යන මහත්ම මහත්මීන්ට සහ නීතිපතිවරයාට එරෙහිවය. නීතිඥ දනෝෂා පෙරේරා මහත්මිය මගින් සිය පැමිණිල්ල ඉදිරිපත් කරන සනත් කුමාර අතුකෝරල මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය මගින් පවත්වනු ලබන ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2022/2023 හැදෑරීම සඳහා කළ ඉල්ලීමකට අනුව එම පාඨමාලාව හැදෑරීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයෙන් තමන් බඳවා ගත් බවත්‍් පාඨමාලාවේ පළමු තෙස්තමේන්තුවේදී කිසිදු අර්බුදයක් උද්ගත නොවූ නමුත් දෙවැනි තෙස්තමේන්තුවේදී 508 විෂය වශයෙන් හඳුන්වනු ලබන ‘කුඩා ව්‍යාපාර සඳහා මෙහෙයුම් කළමනාකරණය’ සහ 510 විෂය වශයෙන් හඳුන්වනු ලබන ‘ව්‍යාපාර උපායමාර්ග හා තිරසාරභාවය’ විෂයන්වලදී තමන්ට විශාල අසාධාරණයක් වූ බවත් සඳහන් කර ඇත.

508 විෂය ඉගැන්වූ කථිකාචාර්ය ඩී.සී.එල්. දියගුආරච්චි මහත්මිය එක් අවස්ථාවක සිසුවකු මාර්ගයෙන් මුදල් හදිස්සියක් බව පවසමින් ඇගේ ගිණුමට රුපියල් 80000/-ක මුදලක් බැර කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි නමුත් තමා ඊට එකඟ නොවූ බව පෙත්සම්කාර සනත් කුමාර අතුකෝරල මහතා සඳහන් කර ඇත.

එම සිද්ධියෙන් අනතුරුව 2024 මැයි 18 සහ 19 වැනි දිනවල කිරිඇල්ල ‘විජය රිෂෝට්’ ආයතනයේදී පාඨමාලාවට අදාළ දෙදින වැඩමුළුවක් සංවිධානය කර තිබූ බවත් එම වැඩමුළුවට විශ්ව විද්‍යාලයට කිසිඳු සම්බන්ධකමක් නැති දියගුආරච්චි මහත්මියගේ සැමියාද පැමිණ සිටි බවත් සඳහන් කරන අතුකෝරල මහතා එක් සිසුවකු පැමිණ දියගුආරච්චි මහත්මියගේ සැමියාට තමාගේ කාමරයේ නවාතැන් ගැනීමට ඉඩදෙන ලෙස කළ ඉල්ලීමට තමා විරුද්ධත්වය පළ කළ බවත් මෙම සිදුවීම් වලින් අනතුරුව කථිකාචාර්ය දියගුආරච්චි මහත්මිය තමා සමඟ වෛරයක් ඇතිකරගත් බවත් සඳහන් කර ඇත.