(අංජුල මහික වීරරත්න)

යුද්ධ වාතාවරණ සමයේ අනුමත තොටුපොළකින් හා විධිමත් ගමන් බලපත්‍රයක් භාවිතයෙන් තොරව රටින් පිටව ගොස් ඉන්දියාවේ සරණාගතභාවය ලද ශ්‍රී ලාංකිකභාවය තහවුරු කරන ලද තැනැත්තන් ස්වේච්ඡාවෙන් පෙරළා සිය රට පැමිණීමේදී ආගමන නිශ්කාශන පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

යුද්ධ සමයේ රට තුළ වූ අස්ථාවර තත්ත්වය හේතුවෙන් අනුමත තොටුපොළකින් හා විධිමත් ගමන් බලපත්‍රයක් භාවිතයෙන් තොරව මෙරටින් ඉන්දියාව වෙත ගොස් අවතැන්ව සිට පසුපස ඉන්දිය රජයේ සරණාගතයින් ලෙස ලියාපදිංචි වූ තැනැත්තන් එක්සත් ජාතීන්ගේ සරණාගත මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) හරහා ස්වේච්ඡාවෙන් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටී. 

ඔවුන්ට මෙරටට පැමිණීම සඳහා අවශ්‍ය ආගමන නිශ්කාශන පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගෙන ඇත. නීතිපති විසින් ලබා දෙන ලද උපදෙස් අනුව පහත පියවර ගනිමින් ඉහත සඳහන් පරිදි ඉන්දියාවට ගොස් ඇති ශ්‍රී ලාංකිකයින්ට නැවත මෙරටට පැමිණීම සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

*2006-08-01 දිනට පෙර අනුමත තොටුපොළකින් හා විධිමත් ගමන් බලපත්‍රයක් භාවිතයෙන් තොරව රටින් පිටව ගොස් ඉන්දියාවේ අවතැන්ව සිට එරට ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල කාර්යාල මඟින් ශ්‍රී ලාංකිකයෙකු බවට අනන්‍යතාව තහවුරු කර ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයෙන් නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම.

*ඔවුන් මිනීමැරුම්, රාජ්‍ය ද්‍රෝහිත්වය සහ නීතියෙන් විශේෂ විධිවිධාන සලසා ඇති හෝ නියම කරන ලද වැරදි සිදු නොකරන ලද පුද්ගලයෙකු බව තහවුරු කර ගැනීම.

*අදාළ පුද්ගලයන් සඳහා තාවකාලික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කර, 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතට අනුව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් තොරව අනුමත තොටුපොළකින් රට තුළට ඇතුළු වීමට අවස්ථාව ලබා දීම.

*2006-08-01 දින සිට මෙරට යුද්ධය අවසන් වූ 2009-05-19 දින දක්වා අනුමත තොටුපොළකින් හා විධිමත් ගමන් බලපත්‍රයක් භාවිතයෙන් තොරව රටින් පිටව ඉන්දියාව වෙත අවිධිමත්ව සංක්‍රමණය වූ ඉහත පරිදි අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයෙන් නිෂ්කාශන වාර්තාවක් ලබා ගන්නා ලද ශ්‍රී ලාංකිකයින් හට 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත මඟින් ආගමන හා විගමන පාලක ජනරාල් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව එකී පනත යටතේ කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් තොරව අනුමත තොටුපොළකින් රට තුළට ඇතුළු වීමට අවස්ථාවක් ලබා දීම.

*මිනීමැරුම්, රාජ්‍ය ද්‍රෝහිත්වය සහ නීතියෙන් විශේෂ විධිවිධාන ඇති හෝ නියම කළ යුතු වැරදි සඳහා වරදකරුවන් වන පුද්ගලයන් වෙතොත්, ඔවුන් තොටුපොළේදී රඳවා ගෙන අවශ්‍ය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා අදාළ ආයතන වෙත යොමු කිරීම.