(ඩයනා උදයංගනී)

සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇතිකරන බවක් තවම පෙනෙන්නට නොමැති බවත්, තම පක්‍ෂයට ද මෙතෙක් කිසිඳු ආරාධනයක් ලැබී නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ආණ්ඩුව කුමන තීන්දුවක් ගනීදැයි නොදන්නා බවත්, සර්වපාක්ෂික ආණ්ඩුවකට ආරාධනයක් ලැබුණහොත් එය පිහිටුවීම සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැමවිටම ජනතාවගේ පැත්තේ සිටගන්නා බවත්, අරගලකරුවන්ට පහරදීම අනුමත නොකරන බවත් හෙතෙම කීය.

රටේ පවතින් ප්‍රශ්න දවසෙන් දෙකෙන් විසඳිය නොහැකි බවත්, ඒ සඳහා අන්තර්ජාතික සහය ලබාගැනීමට නම් ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ජනතා අයිතිවාසිකම් ආරක්‍ෂා විය යුතු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය නැවත ගෙන ආ යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.