(යොහාන් භාසුර)

සංචාරක හා කෘෂිකර්ම වශයෙන් ඉහළ ආකර්ෂණයක් සහිත සුරියකන්ද - රක්වාන  මාර්ගය රුපියල් කෝටි 560 කට අධික මුදලක් වැයකරමින් කඩිනමින් සංවර්ධනය කිරීමට තීරණය කර තිබේ.

එම මාර්ග කොටස් තුනක් යටතේ සංවර්ධනය කිරීමට නියමිත බවත් ගාල්ල සිට දෙනියාය දක්වා කොටස සහ රක්වාන සිට මාදම්පේ දක්වා කොටස් මේ වන විටත් මංතීරු දෙකක් සහිතව සංවර්ධනය  කර ඇති බවත් මහාමාර්ග අමාත්‍යංශය පවසයි.

ගාල්ල - දෙනියාය - මාදම්පේ 017 මාර්ගය, මාතර දිස්ත්‍රික්කය හා රක්වාන යා කරමින්  මොරවක, දෙනියාය, සුරියකන්ද, රක්වාන යන ප්‍රධාන නගර හරහා දිවෙන මෙම මාර්ගය සිංහරාජ වනන්තර මායිමෙන් තිබීම නිසා තේ කර්මාන්තයේ යෙදෙන ප්‍රදේශ රැසකට ගමනාගමන පහසුකම් සලසන සංචාරක ආකර්ෂණයක් සහිත තියුණු වංගු සහ නැරඹුම් ස්ථාන කිහිපයකින් ද සමන්විත බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.

රක්වාන සිට දෙනියාය දක්වා මාර්ගයේ සුරියකන්ද සිට රක්වාන දක්වා කොටස ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදලේ මුල්‍යාධාර යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් පුළුල් කර සංවර්ධනය කිරීමට සියලු කටයුතු සැලසුම් කර ඇති බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මාර්ගය සංවර්ධනයේ දෙවන අදියරේ මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.