(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ සමෘද්ධිලාභීන්ගෙන් සියයට හතළිහකට ආසන්න පිරිසක් සමෘද්ධිය  ලැබීමට නුසුදුසු ඇති හැකි අය  බව ලෝක බැංකු සමීක්ෂණයකදී තොරතුරු හෙළිවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

නුසුදුසු පුද්ගලයන්ට  සමෘද්ධි දීමනාව ලබාදී මඩිය තර කර ගන්නා දූෂිත නිලධාරීන් පිරිසක්ද රටේ  සිටින බව එම කමිටුව සඳහන් කළේය.

මෙම දීමනා විනිවිදභාවයකින් යුතුව ගෙවීම සඳහා නිවැරදි දත්ත සහිත ලේඛනයක් පවත්වාගෙන යෑම  අත්‍යවශ්‍ය බව මුදල් කාරක සභාව පැවසුවේය.

නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්  සුභ සාධක ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනයක් සකස් කිරීම ප්‍රමාදවී ඇතැයිද  එහිදී තොරතුරු හෙළිවිය.ලේඛනයක් සකස් කිරීම සදහා දත්ත ලබා ගැනීම සමෘද්ධි නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ප්‍රමාදය මතුව ඇතැයිද  සඳහන් විය.

සමෘද්ධිලාභීන් සම්බන්ධයෙන් වැරදි තොරතුරු දෙන නිලධාරීන් දඬුවමකට යටත් කළ හැකි බව පැවසූ කමිටුව නිවැරදි දත්ත ලේඛනයක් පවත්වාගෙන යෑම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක්ද වන හෙයින්  එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම වැදගත් බව ප්‍රකාශ කළේය.

මේ තොරතුරු අනාවරණය වූයේ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

මේ සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අනුර ප්‍රියදර්ශන යාපා,  චන්දිම වීරක්කොඩි, සහන් ප්‍රදීප් විතාන සහ නීතිඥ මධුර විතානගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වුහ.