(ඩයනා උදයංගනී)

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධනය කිරීමට අමාතඨ මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

සමහර ආයතන හා පුද්ගලයන් එම බද්දෙන් නිදහස් කිරීමට හැකි පරිදි මෙම සංශෝධනය සිදුකිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත යටතේ වාර්ෂික බදු අය කළ හැකි පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්මවන පුද්ගලයින් මත සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්දක් පනවා ඇති අතර, ඇතැම් අපනයන කර්මාන්තකරුවන්ට හා ඉතා කුඩා ලාභාන්තිකයක් සහිතව විදේශ විනිමය උපයන අයට මෙමගින් ව්‍යවසායක කටයුතු පවත්වාගෙන යා නොහැකි තත්වයක් මතුව ඇති බව මුදල් අමාත්‍යාංශයට වාර්තා වී ඇති නිසා මෙම පියවර ගෙන ඇති බව ඇමතිවරයා සඳහන් කළේය.

එවැනි අංශ ගැන අධ්‍යයනය කර පනත් කෙටුම්පතේ බදු ඉවත් කිරීම සඳහා 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීමට මෙහිදී අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීවේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.