(කේ බුද්ධික කුමාරසිරි සහ නිහාල් වෙත්තසිංහ)

පාදුක්ක පානළුව පිහිටි රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයෙකු රාජකාරි කටයුතු සිදු කරමින් සිටියදී තමන් නව සභාපතිවරයා ලෙස පවසමින්, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනින් යුත් ලිපියක් රැගෙන පැමිණී බැංකු විධායක නිලධාරියකු එම සංස්ථා වෘත්තීය සමිති සේවක විරෝධය හමුවේ අද (12) දින පලවා හැරීමට කටයුතු කල බව එම වෘත්තීය සමිති පවසයි.

එකම ආයතනයට සභාපතිවරැන් දෙදෙනෙකු එකම දින වාර්තා කිරීම නිසාවෙන් ඇති අර්බුදය ට විසදුමක් ලෙස නව සභාපතිවරයා මෙලෙස පලවා හැරීමට වෘත්තීය සමිති කටයුතු කළේය.

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස වරලත් ගණකාධිකාරිවරයෙකු සහ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ජේ.එම්.සී. ජයසේකර මහතා එම කටයුතු සිදු කරමින් සිටියදී  තමන් නව සභාපතිවරයා ලෙස පත්ව ඇතැයි පවසමින් වැඩ භාර ගැනීම සදහා හිටපු රාජ්‍ය බැංකු විධායක නිළධාරියෙකු බව කියන ඒ.ඩී. නිමල් ධර්මරත්න මහතා පැමිණීම නිසාවෙන් දැඩි අර්බුදකාරී තත්වයක් උද්ගත වූ බවද එම වෘත්තීය සමිති පවසති

ජේ.එම්.සී. ජයසේකර සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කල බව දැනුම් දීමකින් තොරව මෙලෙස නව සභාපතිවරයෙකු පත් කර එවීමත් නව සභාපතිවරයා පත්ව පැමිණි පසු ජයසේකර සභාපතිවරයා තනතුරින් ඉවත් කල බව දන්වා ෆැක්ස් පණිවිඩයක් එවීමත් පිළිබදව අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සිය අප්‍රසාදය පල කරන බවත් මෙහිදී වෘත්තීය සමිති පැවසීය

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ පොදුජන සේවක පෙරමුණේ සභාපති සුසන්ත චන්ද්‍රසිරි - රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව කඩා වැටිල තිබුණ වෙලාවේ මේ සංස්ථාව නිසි මගට ගෙනාවේ ජේ.එම්.යූ  ජයසේකර සභාපතිවරයා යි. අපිට වැඩ කිසිම දෙයක් නොතිබුණු කාලෙත් සේවකයින්ට වැටුප් ගෙව්වා. දැන් මුද්‍රණ කටයුතු සදහා අවශ්‍ය කඩදාසි මෙට්‍රික් ටොන් හතක් ගේන්න කටයුතු කලේ මේ සභාපතිවරයායි. ආයතනය නිසි මගට ඇවිත් දැන් අපි සේවා සපයන්න හදනවිට නිසි ක්‍රමවේදයකින් තොරව මේ සභාපතිවරයා ඉවත් කර නව සභාපතිවරයෙකු පත් කර එවා තිබෙනවා. අවම වශයෙන් හිටපු සභාපතිවරයාට ගෞරවණීය සමු ගැනීමක් දීලා නැහැ මේ පත්වීම අපි කිසිසේත් පිළි ගන්නේ නෑ. මේ ආයතනය ගොඩ නගන්න තව වසරක කාළයක් ජයසේකර සභාපතිවරයා මෙහි සිටිය යුතුයි. වෙන කිසිවෙකුට මෙහි සභාපති ලෙස පත්වීමට ඉඩ දෙන්නේ නෑ

එම සංස්ථාවේ සභාපති ජේ.එම්.යූ. ජයසේකර මහතා -

‘මට කිසිදු දැනුම්දීමක් කර තිබුණේ නෑ  මාව සභාපති ධූරයෙන් ඉවත් කලා කියල. මාව පත්කලේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයායි. අධ්‍යාපන ඇමතිවරයාගේ ලිපියක් අර ගත්තු පුද්ගලයක් අාව මෙහි වැඩ භාර ගන්න කියල. ඊට පස්සේ තමා අධ්‍යාපන අමාත්‍යවරයා ගේ අත්සනින් මට ෆැක්ස් එකක් ආවේ තනතුරින් ඉවත් කලා කියල. මම ඉවත් වන්නේ නෑ. පාසල් පෙළ පොත් වලින් සියයට හතලිස් පහක් මුද්‍රණය කරන්නේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවයි. මට ඒ වගකීම තියෙනවා ඒ වගකීම ඉවර කරලා තමා මම ඉවක් වන්නේ. මම ඉවත් උනොත් සේවක වර්ජන නිසා පාසල් පෙළ පොත් මුද්‍රණය ඇණ හිටීවී. මම මේ පත්වීම පිලි ගන්නේ නෑ. මෙතැනින් යන්නේ මගෙ වගකීම් අවසන් කරලා විතරයි.‘

නව සභාපතිවරයා ලෙස පත්ව පැමිණි ඒ.ඩී නිමල් ධර්මරත්න මහතා ගෙන් කල විමසීමේදී මෙසේ කීය -

‘කවුරැ විරෝධය පල කලත් ප්‍රශ්නයක් නෑ අද හැරිලා ආවට මම හෙට (13) දින වැඩ භාර ගන්නවා.මට අදාල පත්වීම ලබා දී තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසිනුයි. ඒ නිසා මම වැඩ භාර ගන්නවා‘ යැයි ඔහු කීය.