(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

හොරණ දොඹගොඩ යුද හමුදා කඳවුරේ පොකුණක අභිරහස් ලෙස සෙබළුකු මියයාමේ  සිද්ධිය සම්බන්ධයෙන් එම කඳවුරේම ක්‍රීඩා උපදේශකවරුන් ලෙස කටයුතු කරන සෙබලුන් සිව් දෙනකු  සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට  පොලිසිය කියයි.

එම සෙබළුන් සිව් දෙනා යුද හමුදා පොලිසිය භාරයේ රඳවාගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී සහ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ලබාදුන් ප්‍රකාශ එකිනෙකට පරස්පර වූයෙන් සෙබලාගේ මරණය සිදුවූ ආකාරය වසන් කිරීම සහ තොරතුරු වසන් කර සත්‍යය තොරතුරු පොලිසිය වෙත ලබා නොදීම යන කරුණු පදනම් කරගෙන අත්අඩංගුවට ගෙන ඇත

ඉකුත් ජනවාරි 27 වෙනි දින මෙලෙස මියගොස් තිබුනේ ඇතිලි වැව ,නොඑල්ල ජනපදයේ පදිංචිව සිටි දොඹගොඩ යුද හමුදා යුද උපකරණ බලකායේ ක්‍රීඩා ප්‍රදේශකවරයෙකු ලෙස කටයුතු කළ තරිඳු ලක්ෂාන් නමැති 24 හැවිරිදි  නිලධාරියෙකි

මියගිය සෙබළා සහ සැකපිට අත්අඩංගුවට ගත් සෙබළුන් සිව් දෙනා හමුදා කඳවුරේ කාමරයක සාදයක් පවත්වා ඇති අතර   කඳවුරු තුළ ඇති පොකුණේ  තරඟයට පිහිනමු යැයි යෝජනාවක් ඔවුන් අතරින් පැමිණ ඇති බව පොලිසිය කියයි.