(අජිත්ලාල් ශාන්තඋදය)

සබරගමු විශ්ව විද්‍යාලයට අනුබද්ධව ස්ථාපිත කළ වෛද්‍ය පීඨයේ නව සංකීර්ණය විවෘත කිරිම  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසුරිය  සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති, Khalld Hamoud Aldassam Alkahtani සෞදි සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය ප්‍රධානී Eng.Faisal M. Alkahtani ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් අද සිදු කළහ.

රත්නපුර ශීක්ෂණ මහ රෝහල ආසනනයේ රත්නපුර, වේරළුප ප්‍රදේශයේ පිහිටි ගල්කඩුව වත්ත නමැති භූමියෙහි අක්කර විස්සක් පුරා නව ගොඩනැගිලි සංකීර්ණය පිහිටා ඇත.

ශිෂ්‍ය නේවාසිකාගාර,ආපන ශාලා, කාර්යමණ්ඩල නේවාසිකාගාර, පූර්ව සායනික ගොඩනැගිල්ල, පුස්තකාලය හා ශ්‍රවණාගාරයද, සිසුන් 500කට නේවාසිකාගාරක් ද එහි ස්ථාපිතය.

සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට මෙම ගොඩනැගිලි දැනටමත් යොදාගෙන ඇත.

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මුලින්ම නිල වශයෙන් ස්ථාපිත කෙරුණේ 2018 අගෝස්තු මාසයේදී වන අතර, එහි පළමු සිසුන් කණ්ඩායම සඳහා අධ්‍යයන කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණේ 2019 ජනවාරි 17 වැනිදාය.

වෛද්‍ය පීඨය සඳහා ස්ථිර ගොඩනැඟිලි ඉදිවන තෙක් මුලින්ම දේශන සහ පරිපාලන කටයුතු ආරම්භ කරන ලද්දේ රත්නපුර, බටුහේන ප්‍රදේශයේ සහ කුරුවිට පිහිටි රජයේ විගණන දෙපාර්තමේන්තු ගොඩනැඟිලි සංකීර්ණයේය.

මීට අමතරව, රත්නපුර පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් ගොඩනැඟිල්ලක සහ සබරගමුව පළාත් සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේ ද මුල් කාලීනව දේශන පවත්වන ලදී.

වත්මන්   රජයේ විශ්වවිද්‍යාල සතු වෛද්‍ය පීඨ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) මඟින් පිළිගත් ආරක්ෂක වෛද්‍ය පීඨය ද ඇතුළුව සමස්ත වෛද්‍ය පීඨ 12ක් ක්‍රියාත්මක වෙයි.

එම සමස්ත ජාලය තුළ සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කර ඇත්තේ 10 වැනි වෛද්‍ය පීඨය ලෙසයි.

රත්නපුර නව නගරයේ පිහිටි සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය සහ රත්නපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඇති මහාචාර්ය ඒකකය මහල් 09 කින් යුත් දැවැන්ත ගොඩනැඟිල්ලකි.

සායනික පුහුණුව සඳහා ඇඳන් 418ක්, නවීනතම සායනික රසායනාගාර සහ විද්‍යාගාර මෙහි අඩංගු වේ.

ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 1,096ක් සහ සෞදි අරාබි රාජ්‍යය (සෞදි සංවර්ධන අරමුදල) ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් (සෞදි රියාල් මිලියන 187.5ක් පමණ). ඒකාබද්ධව ලබාදුන් මූල්‍ය ප්‍රතිපාදන මඟින් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකර ඇත.