(අංජුල මහික වීරරත්න)

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ සංස්කාරක ප්‍රවීන මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර මහතා එක්සත් රාජධානි රජයේ දේශපාලන රැකවරණය යටතේ සිට යළි ලංකාවට පැමිණීමේදී කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට ලිපියක් යවමින් පවසයි.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත්​​​​ සහ ලේකම් රංග බණ්ඩාරනායක මහත්වරුන්ගේ අත්සනින් යවා ඇති මෙම ලිපියේ පිටපත් ජනාධිපතිවරයාට සහ පොලිස්පතිවරයාටද යවා ඇත.

එම ලිපියේ මෙසේද සඳහන් වේ.

වසර ගණනාවක් එක්සත් රාජධානි රජයේ දේශපාලන රැකවරණය යටතේ ජීවත්වූ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ සංස්කාරක ප්‍රවීන මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ බලවත් කණස්සල්ල පළ කරමු.

රාජපක්ෂ පාලන සමයේදී ලත් ජීවිත තර්ජන හේතුවෙන් මාධ්‍යවේදී සේනාධීර විදේශගතව සිට ලංකාවට පැමිණීමේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය රජයයන් යටතේ ගොනු කොට පවතින නීති කෘත්‍යයක සැකකරුවකු වශයෙන් බවට පැවසේ. ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීමෙන් මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර ජීවිත ආරක්ෂාව පතා රටින් බැහැරව ගිය රාජපක්ෂ පාලන යුගයේ පැවති සමාජ අවිනිශ්චිතභාවය වත්මන් පාලන යුගය තුළද ක්‍රියාත්මක වන්නේ දෝ යන සැකය යළි යළිත් ලංකාවේ මාධ්‍යවේදීන් වෙත සිහිපත් කරනු ලබයි.

එමෙන්ම සිලොන් ටුඩේ ඉංග්‍රීසි පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මොහාන් ගේ රාජකාරියට පොලිසිය විසින් කළ බලපෑම හා බාධා කිරීම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

ලංකාව ආසන්න මුහුදු තීරයකදී ඇමරිකානු සබ්මැරීන් ප්‍රහාරයෙන් විනාශයට පත් ඉරාන නැවේ සිට දිවි ගලවා ගත් දැනට ගාල්ල, කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා ඉරාන නාවුක හමුදාවේ නැවියන් කිහිපදෙනෙකුගෙන් මාධ්‍යවේදී සුලෝචනා තොරතුරු විමසීමක නිරතව සිට ඇත්තේ තම පුවත්පත සඳහා ලිපියක් සම්පාදනය කිරීම වෙනුවෙනි. මෙහිදී මාධ්‍යවේදී සුලෝචනා ගේ රාජකාරියට බාධා කරමින්, තම සටහන් වාර්තා පැහැර ගනිමින් හා පරුෂ වචනයෙන් බැන වදිමින් ඇයගේ රාජකාරියට බාධා කොට ඇත්තේ ඔබගේ පාලනය යටතේ පවතින ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු විසිනි. මේ පිළීබඳව ගාල්ල පොලිසියට මාධ්‍යවේදිනී සුලෝචනා පැමිණීල්ලක් ඉදිරිපත් කළද එහි අංකය හෝ තොරතුරු සැපයීම ගාල්ල පොලිස් ස්ථානය විසින් ප්‍රතික්ෂේප කරමින් සිටියි.

මෙවැනි සිද්ධීන් හරහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අනතුරුදායක තත්වයකට පිරිහෙමින් පවතී. ස්වාභාවික ආපදා තත්වයක් වෙනුවෙන් පැනවූ හදිසි නීතිය දිගින් දිගට පවත්වා ගෙන යමින්ද, පොලිස් රාජ්‍යයක සෙවනැල්ල සමස්ත රාජ්‍යය පුරා සවිඥානිකව පැතිරෙන්නට හරිමින්ද, විවිධ මාධ්‍ය හා පුරවැසි මර්ධන නීති පවත්වා ගෙන යමින්ද රාජපක්ෂ පන්නයේ මර්ධනකාරී පාලන ක්‍රමයක් වෙත වත්මන් මාළිමා රජය වේගයෙන් අවතීර්ණ වෙමින් සිටින බව මෙම සිද්ධීන් තුළින් පිළිබිඹු වේ.