(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ඉන්දිකා රාමනායක) රුපියල් ලක්ෂ 04 කට අධික වටිනාකමක් ඇති ඉතාමත් දුර්ලබ සුදු හඳුන් දැව කැබලි තොගයක් සමඟ පුද්ගලයකු අම්පාර දෙකේ කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. විශේෂ කාර්ය බලකාය අක්කරපත්තුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කෙරිණි. අම්පාර පොලිස් වසමේ අම්පාර - නුවර පාරේ දෙකේ , කණුව ත්‍රීරෝද රියක් පරීක්ෂාවට ලක් කිරීමේදී එහි තිබී සුදු හදුන් දැව කැබලි කිලෝ ග්‍රෑම් 17 ක් හමුවූ බව විශේෂ කාර්ය බලකාය කියයි. මෙම සුදු හදුන් කැබලි ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 80 ක් වන උහන ගොනාගෙල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර අඩවි වන කාර්යාලය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගන්නා ලද සුදු හඳුන් දැව වල වටිනාකම රුපියල් ලක්ෂ 04 කට අධික ව බවට ගනන් බලා ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී මොණරාගල පොලිස් අධිකාරී ඒ.ඩී.ඩී. නෙත්තසිංහ මහතාගේ මග පෙන්වීම හා සහකාර පොලිස් අධිකාරී එස්.ඩී. බන්දුසිරි මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය අක්කරපත්තුව කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩී.පී.ඩී.පී. දන්දෙණිය ඇතුළු නිලධාරීන්මෙම වැටලීම කරනු ලැබීය.