(නිමල කොඩිතුවක්කු)

වැඩබලන ජනාධිපති ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත්කිරීමට කටයුතු කර ඉන්පසු පාර්ලිමේන්තුව රැස් කොට ජනාධිපතිධුරයට සුදුසු අයකු පත්කිරීමත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට වහාම ක්‍රියා කළ යුතුව ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිය ධූරවලින් ඉවත් වී ඒ සඳහා අවස්ථාව සලසා දිය යුතු බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.

පක්ෂ නායක රැස්වීමට සමගි ජන බලවේගය විසින් මෙම යෝජනා ඉදිරිපත් කළ බවත් මහ ලේකම්වරයා එහිදී සඳහන් කළේය.

මෙම යෝජනා සඳහා බහුතර පක්ෂ නායකයින්ගේ එකඟත්වය හිමිවූ බවත් සමගි ජනබලවේගයේ මහ ලේකම්වරයා පැවසීය.

එමෙන්ම රටේ දැවෙන ප්‍රශ්න වලට කෙටි කාලයක් තුළ විසදුම් ලබා දී වහාම මැතිවරණයක් කැඳවීම තම පක්ෂයේ ස්ථාවරය බවත් මද්දුමබණ්ඩාර මහතා තවදුරටත් කීවේය.