(විමුක්ති එස් රුද්‍රිගු)

දිවයිනට පැමිණ සිටින සෞදි අරාබි විදේශ කටයුතු අමාත්‍ය ෆයිසල් බීන් ෆරහාන් බින් අබ්දුල්ලා අල් සෞද් කුමුරු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡාවක්  විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විය.

සෞදි අරාබියේ  විදේශ කටයුතු  අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා අල් සෞද් කුමරු අද (14) දින එක්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුව විදේශ අමාත්‍යවරයා සමග ද්විපාර්ශවික සාකච්ඡාව පැවැත්විණි. 

එහිදී දෙරටට ප්‍රයෝජනවත් වන ක්ෂේත්‍ර ගණනාවක සබඳතා ශක්තිමත් කරගැනීමට අමාත්‍යවරුන් දෙදෙනා එකඟත්වය පළ කළ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වෙනි සැසිවාරයේ දී සෞදි අරාබිය ශ්‍රී ලංකාවට ලබාදුන් දැඩි සහයෝගය සහ අනුගමනය කළ සංවේදී ප්‍රවේශය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ විශේෂ ඇගයුමට ලක් විය.

කොළඹ සහ හම්බන්තොට වරායන් ඇතුළුව ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර වල සෞදි යෝජන දිරිමත් කළ මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ශ්‍රී ලාංකිකයන් සඳහා  සෞදි අරාබි රැකියා වෙළඳපොල තුළ ඇති රැකියා අවස්ථා වැඩිකරගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලුවේය.

දෙරට අතර පවතින ද්විපාර්ශවික සබඳතා තවදුරටත් සාර්ථකව ගැඹුරින් පවත්වාගෙන යාමට සෞදි රජයේ කැපවීම නැවත අවධාරණය කළ සෞද් කුමරු දැනට තෙල් මත යැපෙන සෞදි අරාබි ආර්ථිකය 2030 වන විට ඩිජිටල් ආර්ථිකයක් දක්වා පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වන බව වැඩි දුරටත් අවධාරණය කළේය.

මෙම සාකච්ඡාව සඳහා කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය,විදේශ කටයුතු ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ ශ්‍රී ලංකාවේ සෞදි තානාපති අබ්දුල් නසර් බින් හුසේන් අල්-හර්ති මහත්වරු ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගී වූහ.