විනීතා එම් ගමගේ
සවුදි අරාබියේ දී යම් ලේඛනයකට අස්සන් කිරීමට සිදුවුවහොත් එහි සඳහන්ව ඇත්තේ මොනවාදැයි විමසා බලා තහවුරු කර ගත හැකි නම් පමණක් අත්සන් කරන්නැයි විදේශ රැකියා අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා එරට සේවය කරන හා එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් අද (25) ඉල්ලීමක් කළේය.
නොතේරෙන භාෂාවකින් ලියන ලද්දක සඳහන්ව ඇත්තේ කුමක්දැයි තහවුරු නොවන්නේ නම් කිසිසේතම අස්සන් නොකරන්නැයි තමන් ඉල්ලා සිටින බවත්, එසේ නොදන්නා ලියවිල්ලකට අස්සන් කළ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු අමාරුවේ වැටී ඇති අයුරු පසුගිය දිනවල එහි ගිය අවස්ථාවේ දුටු බවත් හෙක්ටර් අප්පුහාමි මහතා කියා සිටියේය.
අධීක්ෂණ මන්ත‍්‍රීවරයා පැවසූ පරිදි එම සේවක පිරිස මුහුණ දී ඇති සිද්ධිය මෙසේය.
රියාල් 1500 ක වැටුපට එරට සමාගමක සේවයට ගිය ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකු ඔවුන්ගේ හාම්පුතුගේ ඉල්ලීම මත යම් ලියවිල්ලකට අත්සන් කර ඇති අතර එහි සඳහන්ව තිබී ඇත්තේ රියාල් 8000 ක වැටුපට සේවය කරන බවකි.
එකී ලිපියට අස්සන් ලබා ගත් පසුව මෙම හාම්පුතා විසින් වාරික ගෙවීමේ ක‍්‍රමයට වාහන කිහිපයක් ලබාගෙන ඇත්තේ මෙම සේවකයින් ගේ නමිනි. ඒ සඳහාද ලියකියවිලි සඳහා මෙම සේවක පිරිස අස්සන් කර ඇත. එම වාහන කුලී පදනම මත වාහන ලබා දෙන ව්‍යාපාරයකට යොදවා ඇති මෙම තැනැත්තා වාහන සඳහා ගෙවිය යුතු වාරික ගෙවීම පැහැර හැර ඇත.
මේ වනවිට විශාල මුදලක් ගෙවිය යුතුව ඇතත් දිගටම එම ගෙවීම් පැහැර හැර ඇති නිසා අදාල ලීසිං සමාගම් මෙම සේවක පිරිස පස්සේ පැන්නීමට පටන් ගෙන ඇති අතර තමන් අස්සන් කර ඇති ලියවිල්ල කුමක් දැයි ඔවුන් වටහා ගෙන ඇත්තේ එයින් පසුවය.
මේ වනවිට ඔවුන්ට රැකියාව ද නැත. එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන්නට ද හැකියාවක් නැත්තේ ඔවුන් රටට ඇතුල් වන විට ආගමන විගමන අංශයට ඇඟිලි සළකුණු ලබාදෙන බැවිනි. යළි පිටවීමට උත්සාහ කළ හොත් ඔවුන් ගුවන් තොටුපලේ දී අත් අඩංගුවට පත් වන බැවින් රටින් පිටවීමට ද නොහැකිය.
මේ තත්ත්වය යටතේ මෙම සේවක පිරිස අපරාධකරුවන් බවට පත්වී ඇති බවත් ඔවුන් බේරාගැනීමට තානාපති කාර්යාලය විශාල උත්සාහයක් දරමින් සිටින බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙක්ටර් අප්පුහාමි මහතා මේ අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සහෝදර සහෝදරියන්ට අරාබිකරයේ බැල මෙහෙවරකම් කරන්නට යන්නට සිදුවුයේ ජාතියේ පවට. මෙවැනි අතවරයට පත් පුරවැසියන් නැවත මෙරටට ගෙන්වා ගන්නට තානාපති කාර්යාලය ගන්නා උත්සාහය ප්‍රසංශනීයයි.
ඔය වගේ පැහැදිලි නැති ලියවිලිවලට, හිස් තැන් තියලා බැංකු නිලධාරියෝ අත්සන් ගන්නවා... කිසියම් ආකාරයක බලපෑමක් කරොත් හොදයි මහා බැංකුව මගින් ...
අපේ ඔප්පු ලිවනකොටත් අත්සන් කරන්නේ හිස් කොලවලට..
මුල්‍ය ආයතන තම පරිභෝගිකයව තහවුරු කර නොගෙනීම පුදුම සහගත වේ