ඇමෙරිකාව සහ ඉරානය අතරේ, සටන් විරාමයක් ඇති කර ගැනීමට සාකච්ඡා පැවැත්වෙන බවත්, කඩිනමින් තාවකාලික සටන් විරාමයක් ආරම්භ වනු ඇති බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

පාකිස්තානයේ මැදිහත්වීමෙන් මෙම තාවකාලික සටන් විරාම යෝජනාව සකස් කර ඇති බවත්, ‘ඉස්ලාමාබාද් සම්මුතිය’ යනුවෙන් එය නම් කර ඇති බවත් රොයිටර් පුවත් සේවය පැහැදිලි කළේය.

පළමුවෙන් කඩිනම් සටන් විරාමයක් ආරම්භ කර හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමටත්, ඉන්පසු දින 15 ත් 20 ත් අතර කාලසීමාවක් තුළ පුළුල් සාම ගිවිසුමකට ඇමෙරිකාව සහ ඉරානය එකඟ කර ගැනීම ඉස්ලාමාබාද් සම්මුතියේ ඉලක්කය යැයි පාකිස්තානය පවසා ඇත

ඇමෙරිකා ඉරාන යුද්ධය අවසන් කිරීමට මැදහත් වෙන්නැයි පාකිස්තානයට දැනුම් දුන්නේ ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඒ අනුව, සටන් විරාමයක් සහ සාම සැලැස්මක් සකස් කිරීමට පාකිස්තාන රජය සෞදි අරාබිය,
තුර්කිය සහ ඊජිප්තුව ද සම්බන්ධ කරගත් බව පැවැසෙයි.

දින 45 ක සටන් විරාමයකට යෑම සම්බන්ධයෙන් යෝජනාවක් තමන්ට ලැබී ඉරානය පවසා ඇත. කෙසේ නමුත් ඉරාන රජය පෙන්වා දී ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජන ගර්ජන මැද තමන් කිසිම අවස්ථාවක සටන් විරාමයකට යෑමට සූදානම් නැති බවය.

මේ අතර, ඊශ්‍රායලය පවසා ඇත්තේ ඇමෙරිකාව සහ ඉරානය අතරේ ඇතිකරගන්නා සටන් විරාමයකට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, තමන් දිගටම ඉරානයට ප්‍රහාර එල්ල කරන බවත්ය.