(තිළිණි ද සිල්වා)

නිවාස , ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට හෙට (20) පෙරවරු 9.30ට ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිට ප‍්‍රකාශයක් ලබා දෙන්නැයි එම කොමිසම නොතීසි නිකුත් කරනු ලැබ ඇත.

මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා අවිධිමත් පත්වීම් ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන පැමිණිල්ලට අදාළව සජිත් පේ‍්‍රමදාස මහතාට එම කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

එසේම එම පැමිණිල්ලට අදාළව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතාටද කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිට ප‍්‍රකාශයක් ලබා දෙන්නැයි දන්වමින් නොතීසි නිකුත් කරනු ලැබ ඇතැයිද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ‘‘කළමනාකාර සහාකාර ’’ තනතුරු සඳහා අවිධිමත් ආකරයෙන් සේවකයින් පිරිසක් බඳවා ගෙන ඇතැයි සඳහන් කරමින් එම අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විසින් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

එම පැමිණිල්ල විභාගයට ගැනීමට කොමිසම ඉකුත්දා  තිරණය කළ අතර ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය බාර අමාත්‍යවරයා ලෙස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සිදු කෙරෙන බව කොමිසම සඳහන් කරයි.

එම අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ගොනු පැමිණිල්ලේ  වැඩිදුරටත් සඳහන් වූයේ නිවාස සංවර්ධන අධිකාරියේ ‘‘කළමනාකාර සහාකාර ’’ තනතුරු සඳහා අවිධිමත් ලෙස බඳවා ගනු ලැබූ සේවකයින්ගේ 95% ක්ම හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන් වන බවය.