(නිමන්ති රණසිංහ)

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනයට අදාළව එම අපරාධ ස්ථානයේ තිබූ නඩු  භාණ්ඩ සහ රුධිර සම්පල් පරීක්ෂා කර ඩී එන් ඒ වාර්තා සහ රස පරික්ෂක වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (02) රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළාය.

මෙම ඝාතනයට අදාළව අපරාධ ස්ථානයේ මෙන්ම මරණකරු රැඳී සිටි වාහනයේ තිබී සොකෝ නිලධාරීන් ලබාගත් රුධිර සාම්පල්, ඇඟිලි සලකුණු මෙන්ම මරණකරුගේ ඇඳුම් පැළදුම්, නියපොතු හිසකෙස් ආදිය පරීක්ෂාවට ලක් කර ඩී එන් ඒ වාර්තා මෙන්ම රස පරීක්ෂක වාර්තා අධිකරණයට ලබා දෙන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරිය රස පරීක්ෂකවරයාට නියම කළාය.

රස පරීක්ෂක වාර්තා කැදවීමට අවශ්‍ය නඩු භාණ්ඩ බොරැල්ල පොලීසිය අද (02) අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එම නඩු භාණ්ඩ පරීක්ෂා කිරීමෙන් පසු අධිකරණය පොලීසිය කළ ඉල්ලීමට අවසර ලබා දුන්නේය.

මෙම සිද්ධියට අදාළව මෙතෙක් විමර්ශන අවසන්ව නොමැති බවත් පු`ථල් ලෙස විමර්ශන තවදුරටත් සිදුකරමින් සිටින බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.