(ඩයනා උදයංගනී)

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන අනුව සම්මත කරන්නේ නම් ඊට පක්ෂව ඡන්දය දීමට උත්තර ලංකා සභාගය  නියෝජනය කරන පක්ෂවල මන්ත්‍රීවරුන් සූදානම් බව එහි සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

කූඨ ක්‍රමවේදයක් අනුව යමින් රටට අහිතකර යටිකූට්ටු සංශෝධන මේ සඳහා ගෙන ඒමේ අවදානමක් තිබෙන බව කී මන්ත්‍රීවරයා එවැන්නක් කළහොත් සහයෝගය ලබාදීම පිළිබඳව යළි සලකා බලන්න සිදුවන බව ද සඳහන් කළේය.

එබැවින් ඉදිරිපත් කරන ලද මූලික කෙටුම්පත සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර තිබෙන සංශෝධන හැර හොඳ හෝ නරක හෝ වෙනත් සංශෝධන ඉදිරිපත් කිරීමට කාරක සභා අවස්ථාවේදී කටයුතු කළහොත් ගතයුතු තීරණය කුමක්ද යන්න සිතාබැලීමට සිදුවන බව ද වීරවංශ මහතා සඳහන් කළේය.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී  පැවති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.