(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව ඉල්ලීමක් කළහොත් මෙරටට අවශ්‍ය ඉන්ධන සහ බොරතෙල් සැපයීමට ඉරානයට හැකි බව මෙරට ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා අද (23) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඩෙල්කොෂ් මහතා එසේ ප්‍රකාශ කළේ තානාපති නිල නිවසේ පැවැති විශේෂ ප්‍රවෘත්ති මාධ්‍ය හමුවකදීය.

ඩෙල්කොෂ් මහතා මෙසේ ද පැවැසීය. ශ්‍රී ලංකාව ඉරානයේ මිතුරෙක්.  ශ්‍රී ලංකාව කරදරයේ වැටෙනවා දැකීමට ඉරානය කිසිම අවස්ථාවක කැමැති නෑ.  මෙරටට සහාය අවශ්‍ය ඕනෑම අවස්ථාවක එම සහාය ලබා දෙනවා.  

එසේම ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලුම විදේශිකයන් ආරක්ෂා කිරීමට සියරට තුළ පුළුල් ව්‍යූහයක් තිබෙනවා. යම් විදේශිකයකුට ඔහුගේ රටට යාමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුකම් සැපයීමට ඉරානය සූදානමින් සිටිනවා.

අයිරිස් ඩෙනා සහ අනෙකුත් නෞකා දෙක මෙරටට පැමිණෙමින් තිබුණේ ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා, ඉරාන නාවික හමුදාපතිවරයාට නිල වශයෙන් කළ ආරාධනාවක් මත බවද තානාපතිවරයා ප්‍රකාශ කළේය.