(යොහාන් භාසුර)

සංචාරක ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 381 ක් රැස්කිරීමට සමත් විය.

ඇෆ්ගනිස්තාන් පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 7.64 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 382 ක් රැස්කළ යුතුය.

මෙම ලකුණු 381 ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක ඉහළතම සිවුවැනි ලකුණු සංඛ්‍යාව වේ.  

පැතුම් නිස්සංක අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 139 කින් හතරේ පහර 20 ක් සහ හයේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 210 ක් රැස්කිරීමට සමත් විය.

පැතුම් මෙම ද්විත්ව ශතකයට පෙර එක්දින ජාත්‍යන්තර ශතක තුනක් රැස්කර සිටියේය.

ආබාධයක් හේතුවෙන් මාස කීපයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිට නැවත පැමිණීමෙන් පසුව ලකුණු අතර පැමිණීමට නොහැකිව සිටි අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 88 කින් හතරේ පහර 8 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 88 ක් රැස් කළේය.

ආරම්භක පිතිකරු වූ පැතුම් සහ අවිෂ්ක වේගවත් පිතිහරඹයක් දියත් කරමින් පන්දු 158 කින් ලකුණු 182 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

කාසියේ වාසිය ලැබූ ඇෆ්ගනිස්තානු පිලේ නායක හෂ්මතුල්ලා ශහිදි පළමුව ලකුණු රැස්කිරීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.  

ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 යේදී කඩුලු 3 ට 381

(පැතුම් නිස්සංක නොදැවී, අවිෂ්ක ප්‍රනාන්දු 88, කුසල් මෙන්ඩිස් 16, සදීර සමරවික්‍රම නොදැව 44, ෆරීඩ් අහමඩ් 79/2)