(අංජුල මහික වීරරත්න)

ඉහළ අධිකරණ වල විනිසුරු පුරප්පාඩු පුරවන්නේ නැතිව සිටීමෙන් ශ්‍රී ලංකා අධිකරණ වල ජාත්‍යන්තර ප්‍රතිරූපයට ද බලපෑමක් ඇතිවන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

විනිසුරු පුරප්පාඩු පුරවන්නේ නැත්තේ විධායකයේ සැඟවුණු අරමුණක් සඳහා දැයි ප්‍රශ්න කළ පීරිස් මහතා එක පුද්ගලයෙක්ගේ වාසිය සඳහා මුළු රටම අර්බුදයට තල්ලු කිරීම සාධාරණ දැයි ප්‍රශ්න කළේය.

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මෙම මාධ්‍ය හමුව කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ දී පැවැත්විණි.

එහිදී ජී.එල්.පීරිස් මහතා මෙසේද කීය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය අවුරුදු දෙකක් දීර්ඝ කිරීම පිළිබඳ කතිකාවක් අපේ සමාජයේ ඇති වෙලා තිබෙනවා. ඒ පිළිබඳ විවිධ ප්‍රශ්න හා ගැටලු විවාදයට භාජනය වෙලා තිබෙනවා.

මේක කවුරුත් ඉල්ලුවේ නැහැ. මේ පිළිබඳ අදහස් ප්‍රකාශ කරපු සියලුදෙනා, නීතිඥ සංවිධාන, විශ්වවිද්‍යාල ප්‍රජාව, සිවිල් සමාජය ඇතුළු බොහෝ දෙනෙක් මේ තීරණයට දැඩි විරෝධයක් පළකර තිබෙනවා.

රජයේ පැත්තෙන් කිසිම නිශ්චිත භාවයක් නැහැ. වෙන රටවල්වල මෙවැනි දෙයක් කිරීමට උත්සාහ දරන අවස්ථාවලදී අවුරුදු එක හමාරක් විතර රජයේ යෝජනා ඉදිරිපත් කරලා ප්‍රතිචාර ඉල්ලන එක තමයි සම්ප්‍රදාය. එක්සත් රාජධානියේ නම් මාස 18 ක කාලයක් ඇතුළත ප්‍රතිචාර 1,200 ක් පමණ ලැබුණා. අපේ රටේ එහෙම කිසිම විනිවිදභාවයක් නැහැ. රජයේ යෝජනාව මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ යනුවෙන් ද ජී.එල්.පීරිස් මහතා පැවැසීය.