(නිමල කොඩිතුවක්කු)

වැඩි මිලට පානීය ජල බෝතලයක් අලෙවි කල දඹුල්ල සංචාරක හෝටලයකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

බෝතල් කළ පානීය ජලය වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරීන් දඹුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිදුකළ වැටලීමකට අදාළව මෙම දඩය නියම කර ඇත. එහිදී එම ආයතනය රුපියල් 100/-ක මිලක් සඳහන් පානීය ජල බෝතලයක් රු.300/-කට අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබීය.

අදාළ නඩුව 2026 සැප්තැම්බර් 23 දින අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ආයතනය චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රු.500,000/-ක (රුපියල් ලක්ෂ පහක) දඩයක් නියම කරන ලදී.