(අංජුල මහික වීරරත්න)

රාජ්‍යයන් කිහිපයක් සමඟ භාණ්ඩ හුවමාරු කර ගැනීම සඳහා නිදහස් වෙළෙද ගිවිසුම් අත්සන් කිරීමට රජය තීන්දු කර ඇත.

ඒ අනුව පළමු වටයේ දී ඉන්දියාව, චීනය හා තායිලන්තය සමඟ නිදහස් වෙළෙද ගිවිසුම් අත්සන් කිරීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් යෝජනා ඉදිරිපත් කර තිබේ.

රජය ඉදිරිපත් කළ යෝජනාවට මේ වන විට තායිලන්තය කැමැත්ත පළ කර ඇත.

ඒ අනුව නිදහස් වෙළෙද ගිවිසුම ගැන ජනවාරි 08 හා 09 යන දෙදින මෙරට දී තායිලන්ත රජයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් එරට ප්‍රධානීන් මෙරටට පැමිණීමට නියමිතව පවතී.

ඊට අමතරව පසුගිය රජය සමයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ බංග්ලාදේශය සමඟ වන සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යාමට ද රජය තීරණය කර තිබේ.

බංග්ලාදේශය සමඟ වන සාකච්ඡා සූම් තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන යාමට නියමිතය. මේ වන විට පිහිටුවා ඇති ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය හරහා තවදුරටත් නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් කටයුතු කෙරෙනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්  පැවැසීය.