(යොහාන් භාසුර)

යතුරුපැදි ඇතුළු මෝටර් වාහනවල අදාල වාහනයේ ලියාපදිංචි අයිතිකරුම පැදවිය යුතු යැයි නීතියක් පනවා නොමැති බවත් වාහනයක් වෙනත් ආයතනයකට කිසියම් කටයුත්තක් සඳහා පැවරුවේ නම් පමණක් ඒ අවස්ථාවේදී ‘පැවරීමේ රක්‍ෂණයක්’ තිබිය යුතු යැයි නීතියක් ක්‍රියාත්මක වන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතා පැවසීය.

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී අද (9) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා එසේ පැවසීය.

වාහනයක ලියාපදිංචි අයිතිකරු පමණක් එය ධාවනය කළ යුතු යැයි පොලිසිය ජනතාව අපහසුතාවට පත්කිරීම පිළිබඳව කළ විමසුමකදී තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතා මෙසේ ද සඳහන් කළේය.

කිසියම් පුද්ගලයකුට වාහනයක් තිබේ නම් එම වාහනය ඔහුගේ පවුලේ සාමාජිකයන් වන දරුවන්, බිරිඳ, ස්වාමීපුරුෂයා සහ ඔහුට සම්බන්ධ කෙනෙකුට ධාවනය කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවත් පොලිස් නිලධාරීන් එවැනි නීතියක් ක්‍රියාත්මක කරන්නේ යැයි විශ්වාස නොකරන බවත් ඒ මහතා කීය.

කිසියම් අනතුරක් සිදුවූ අවස්ථාවක වාහනය පැදවූ පුද්ගලයා එහි අයිතිකරු ද එසේ නැත්නම් රියදුරු අයිතිකරුට සම්බන්ධ පුද්ගයෙක් ද යැයි පොලිසිය පරීක්‍ෂා කරන බව කී තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතා රියදුරු ලෙස කටයුතු කළේ අයිතිකරුට සම්බන්ධ පුද්ගලයෙක් නම් එහි ගැටලුවක් නොමැති අතර වෙනත් කෙනෙකුට පවරා ඇත්නම් ‘පැවරීමේ රක්‍ෂණයක්’ තිබිය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.
ඡායාරූපය: ගයාන් අමරසේකර