(යොහාන් භාසුර)

බදු නොගෙවීම හේතුවෙන් හම්බන්තොට වරායේ ගාල්කර තිබෙන මෝටර් රථ නිදහස් කර දෙන බව පවසා පුද්ගලයන් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචා කළ සුප්‍රසිද්ධ රූපලාවන්‍ය සහ නිරූපණ ශිල්පියෙක් කොළඹ වංචා විමර්ශන කාර්යංශය අද (10) අත්අඩංගුවට ගත්තේය.

ටොයෝටා ඇක්සියෝ වර්ගයේ මෝටර් රථ තුනක් බදු නොගෙවා නිදහස් කරදීමට එම පුද්ගලයා පොරොන්දු වී ඇති අතර පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි නිරූපන ශිල්පියෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මෝටර් රථයක් නිදහස් කර දෙන පවසා දෙහිවල ප්‍රදේශයේ පදිංචි ටෙලිකොම් ආයතනයේ විශ්‍රාමික ඉංජිනේරුවරයෙකුගෙන් රුපියල් ලක්ෂ 39 ක්, බම්බලපිටියේ පදිංචි විදේශ රැකියා නියෝජිතායතන හිමිකරුවෙකුගෙන් රුපියල් ලක්‍ෂ 10 ක් සහ මාලිගාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්‍ෂ 8 ක් ලෙස මුදල් ලබාගෙන ඇති  බව ද පොලිසිය කීය.

කොළඹ වංචා විමර්ශන කාර්යංශයට ලැබුණු පැමිණිලි තුනක් පිළිබඳව   විමර්ශන ඒකක අංක 6 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රශින්ත පියරත්න සහ පොලිස් සැරයන් (7189) වනිගරත්න යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් පරීක්‍ෂණ ක්‍රියාත්මක කළේය.

කොළඹ වංචා විමර්ශන කාර්යංශය කළ කැදවීම් මඟහැර සිටි අදාල සැකකරු නීතිඥවරයෙක් හරහා අද භාර වූ බවත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට හෙට (11) ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය වැඩි දුරටත් කීය.