(ඩයනා උදයංගනී)

මෙම වසරේ මුල් මාස 6 තුළ විදේශ ණය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 2,609ක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකාව මේ වන විට ගෙවීම අත්හිටුවා ඇත්තේ ද්විපාර්ශවික හා බැඳුම්කර මගින් ලබාගෙන ඇති ණය පමණක් බවත්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශවික ණය ගෙවීම නවත්වා නැති බවත් ඇමතිවරයා කීවේය.

ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම සඳහා අනුමත ණය ගැනීමේ සීමාව තුළ පියවර ගැනීමේ බලය භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පැවරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.