(යොහාන් භාසුර)

මෙරට වමේ ව්‍යාපාරය නියෝජනය කරන ජනප්‍රිය ලේඛකයෙක් වන නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතා ඒ මහතා රචනා කළ පොත්පත් ඇතුළුව වසර 65 ක් පමණ කාලයක් එකතු කළ වටිනා පොත් තොගයක් ජාතික ජන බලවේගයට පරිත්‍යාග කළේය. 
 
නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතා මේ වන විට 91 වැනි වියේ පසුවන අතර ඒ මහතා සිය පොත් එකතුව සිය නිවසේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට භාරදුන්නේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, කේ. ඩි. ලාල්කාන්ත සහ නීතිඥ උපුල් කුමරප්පෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

තමන් වසර 65 ක් තිස්සේ එක්රැස් කළ විවිධ විෂයන්ට අදාල පොත්පත් පොදුවේ පාවිච්චියට ගතහැකි හොඳම කණ්ඩායම ගැන කල්පනා කරද්දී හොඳම කණ්ඩායම ජාතික ජන බලවේගය යැයි සිතුණු බවත් ජාතික ජන බලවේගය කියන්නේ ඉතා විශිෂ්ට නිර්මාණයක් බවත් නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතා එහිදී පැවසීය.

ජාතික ජනබලවේගය තුළ විද්වතුන් විශාල සංඛ්‍යාවක් සිටින නිසාත් ඔවුන්  නිකන්ම නිකන් විද්වතුන් නොවන නිසාත් ඔවුන් මහජනතාව කෙරෙහි බැදුණු ආකල්පයක් තිබෙන අය බවත් ඒ හේතුවත් නිසාම ජාතික ජනබලවේගයට පොත් භාරදීමට තීරණය කළ බවත් එස්.ජී. පුංචිහේවා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.