IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වසර 33 කට පෙර ඝාතනයක සුලමුල ටික ටික එළියට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඩී.ඒ.පතිරණ)

අනියම් බිරිඳ සමග එක්වී ඇයගේ නිත්‍යානුකූල සැමියා මීට වසර තිස් තුනකට පමණ ඉහත දී ඝාතනය කර ඔහුගේ සිරුර අනියම් බිරිඳගේ ගෙවත්තේ පිහිටි වැසිකිළිවළකට දමා සැඟවූ බව කියන පුද්ගලයෙක් ඌරුබොක්ක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (16) අත්අඩංගුවට ගනු ලැබීය.

අඩංගුවට ගත් සැකකරු එම ඝාතනය කළ බව කියන වකවානුවේ අවුරුදු 36ක වයසේ පසු වූ තැනැත්තෙකි.

සැකකරු මේ වනවිට 69 හැවිරිදි වියේ පසුවන බව පොලිසිය කියයි. මෙම සැකකරු පුවක්දොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ එවකට සිටි අනියම් බිරිය බව කියන මේ වන විට අසූ තුන් වන වියේ පසුවන කාන්තාව ද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

එම කාන්තාව අංශභාග රෝගය වැළඳී රෝද පුටුවක ආධාරයෙන් එහා මෙහා යන තැනැත්තියක බවද ඔහු කීවේය.

මෙසේ ඝාතනය කරනු ලැබ ඇත්තේ දොලමුල්ල, අන්නාසිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කපුගේ ජිනදාස නමැති පුද්ගලයෙකි.

ඔහු ඝාතනයට ලක්වන විට අවුරුදු 51 ක වයසේ පසු වී ඇත.

තම නීත්‍යනුකූල සැමියා ඝාතනය කර වළ දැමූ ස්ථානය නිශ්චිතවම පෙන්වනු ලැබ ඇතැයි ද කියන්නේ මෙම වයෝවෘද්ධ කාන්තාව විසින් යැයි පොලීසිය කියයි.

මෙම ස්ථානයේ ඊයේ (15) කැණීම් සිදුකර ජිනදාස නමැත්තාගේ බවට සැලකෙන අත්පාවල අස්ථි කොටස් කිහිපයක්, දත් කිහිපයක්ද සොයාගන්නා ලදැයි පොලිසිය පවසයි.

මීට අමතරව ජිනදාස නමැත්තා හැඳ සිටි ටී ෂර්ට් එකක් සහ සරමක්ද ඔහුගේ සිරුර එතීමට යොදාගත් බවට සැලකෙන රෙද්දක්ද කැණීම්වලදී සොයාගන්නා ලදැයි පොලිසිය සඳහන් කරයි.

මරා වළ දමන ලද එම පුද්ගලයාගේ සිරුරු කොටස් මොරවක මහේස්ත්‍රාත් ගිහාන් බස්නායක මහතා හමුවේ ඊයේ  (15) ගොඩගනු ලැබීය.

මාතර මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය බුද්ධික ලේල්වල මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම කැණීම් කටයුතු සිදු කර තිබිණි.

සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂඥ වෛද්‍ය බුද්ධික ලේල්වල මහතාගේ භාරයට ගනු ලැබීය.

ජිනදාස නමැත්තා  1989 භීෂණ සමයේ රාත්‍රී කාලයේ නිවසේ ඇඳක් මත නිදාගෙන සිටියදී කිතුල් පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බව ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි විණි යැයි එම උසස් පොලිස් නිලධාරියා පැවැසීය.

ජිනදාස නමැත්තාගේ සිරුර ජනෙල් රෙද්දක ඔතා අනියම් බිරිඳ බව කියන කාන්තාව සමඟ එක්වී වැසිකිළි වළට දමා  සැඟවූ බව සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇතැයි කියති.

අනියම් සම්බන්ධතාව බාධාවකින් තොරව කරගෙන යෑමට මෙසේ කළ බව සැකකරු පොලිසියට පවසා ඇති බවද දැන ගැනීමට ඇත.

ජිනදාස නමැත්තාගේ බිරිඳ ඒ කාලයේ හැඩකාර කාන්තාවක වූ බැවින් සැකකරු ඇයත් සමඟ අනියම් සම්බන්ධතාවයක් ගොඩනගා ගෙන තිබූ බවද දැන ගැනීමට තිබේ.

ජිනදාස නමැත්තාට මෙම අනියම් සම්බන්ධතාව දැනගැනීමට ලැබී  අවස්ථා ගණනාවකදීම  ඔවුන් දෙදෙනාට අවවාද කර මෙම සම්බන්ධතාව දරුවන්ගේ නාමයෙන් නතර කර දමන ලෙසද ඔහු ඉල්ලා ඇති බවද කියති.

එහෙත් ඔවුන් දෙදෙනා මෙම අනියම් සම්බන්ධතාව දිගටම පවත්වාගෙන ගොස් ඇතැයිද පැවසේ.

ජිනදාස නමැත්තාගේ සිරුර සැඟ වූ ස්ථානයට නුදුරින් ඔහුගේ බිරිඳ  සිද්ධිය වී වසර පහකට පමණ පසු පොල් පැළයක් සිටුවා ඇති බවද පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත.

ඥාතීන් සහ ප්‍රදේශවාසීන් ජිනදාස නමැත්තා ගැන ඔහුගේ බිරිඳගෙන් විමසන අවස්ථාවල ඔහු භීෂණ සමයේ අතුරුදන් වී ඇති බව කියා ඇතැයි පැවසේ.

ජිනදාස නමැත්තාට දාව ඔහුගේ බිරිඳට දරුවන් තිදෙනකු සිට ඇති අතර එක් පිරිමි දරුවකු වයස අවුරුදු 10දී පමණ වස වර්ගයක් පානය කර සියදිවි නසාගෙන ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

අනෙක් දරුවන් දෙදෙනා යමක් කමක් තේරුම් ගිය කාලයේ නිතරම මවගෙන් පියා ගැන විමසා ඇතැයිද පොලිසිය පවසයි.

පියා භීෂණ සමයේ අතුරුදන් වූ බව මව දරු දෙදෙනාටද පවසා ඇත.

එහෙත් ජිනදාසගේ ‘අතුරුදන් වීම’ ගැන පොලිසියට පැමිණිලි කර නොමැත.

වසර 33ක කාලයක් තිස්සේ සිය සැමියා ඝාතනය කිරීමේ රහස සඟවාගෙන සිටි ඔහුගේ බිරිඳ මේ බව ඇයගේ නැගණියට පැවසීමෙන් පසු එම නැඟණිය මේ බව හෙළිකර තිබිණි යැයි පොලිසිය පවසයි.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ හම්බන්තොට සහ මාතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාගේ උපදෙස් මත මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ සහ සහකාර පොලිස් අධිකාරි ලාල් චන්ද්‍රසිරි යන මහත්වරුන්ගේ මෙහෙයුම යටතේ ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. පී. ඩබ්ලිව්. පල්ලියගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජේ. පතිරත්න, පොලිස් සැරයන් සනත් (19604), පොලිස් සැරයන් පුෂ්පකුමාර(21891) යන මහත්වරුන් සහ කාන්තා පොලිස් කොස්තාපල් කණිෂ්කා(12420) මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

වසර 33 කට පෙර ඝාතනයක සුලමුල ටික ටික එළියට

Bunny Preena Wednesday, 17 May 2023 09:16 AM

සත්ගුනවත් සැමි‌යෙකුට ‌ද්‍රෝහි වූ බිරිදක්. මිනිමැරුම සම්බන්දව මොවුන් දෙදෙනාට නිසි දන්ඩුවම් ලබා දිය යුතුමයි. වසර 33ක් පමාවී හෝ මෙම ඝාතනය හෙලි කිරිම සම්බන්ඩව එම කාන්තාවට අපගේ ප්‍රනාමය.

:       2       9

Tharanga Wednesday, 17 May 2023 11:22 AM

තාජුදීන්ගේ මිනීමරුවන්ටත් කවදා හරි ඕකම වෙනවා .උන්ටත් කළකම් පලදෙනවා .මරපු එකා කවුද කියලා මුළු රටම දන්නවා නේ .සොබාදහම නියම කාලෙදී මිනීමරුවන්ට දඬුවම් දෙයි

:       3       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site