(අංජුල මහික වීරරත්න)

වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා දිය හැකි අතරම, ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගත හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් වන පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ එහි ඉදිරි කටයුතුවලට බාධා වී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අදාළ සියලු පාර්ශ්වවල සහභාගිත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා එම ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වූ අතර එහිදී ඉදිරිපත් කෙරුණු ගැටලු පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමත්, එම ගැටලු මගහරවා ගැනීම වෙනුවෙන් සාධනීය විසඳුම් රැසකට එළඹීමත් මෙහිදී සිදු විය. මීට වසර 10කට පෙර ආරම්භ කර ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් අතරමග නැවතුණු පහළ මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම වෙනුවෙන් 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 5000ක අයවැය ප්‍රතිපාදන වෙන් කෙරිණි.

මල්වතුඔය පහළ නිම්නයේ ග්‍රාමීය සංවර්ධනය සහ කෘෂිකාර්මික නිෂ්පාදනය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වන ජල හිඟය මග හැරවීම සහ තන්තිරිමලේ ප්‍රදේශයේ නව සංවර්ධන ප්‍රදේශයක් බිහි කිරීම, මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව සහ අකිතමුරුප්පු වැව යටතේ අක්කර 40,000ක් වූ කුඹුරු ඉඩම් යල, මහ කන්නයේ අස්වද්දා වගා තීව්‍රතාව ඉහළ නැංවීම, පානීය ජල සම්පාදනය, ජලවිදුලි උත්පාදනය සහ ප්‍රදේශයේ ගංවතුර පාලනය, සංචාරක කලාපයක් විවෘත කිරීම, ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය සහ වනඅලි ගැටලු කළමනාකරණය ආදිය මෙම ව්‍යාපෘතිය මගින් සිදු කිරීමට අපේක්ෂිතය. පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය 2029 - 2030 වසර වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ජනතා අයිතියට පත් කිරීම රජයේ අරමුණ වන අතර එය ඉදිවීමෙන් පසු උතුරු මැද පළාතේ විශාලතම ජලාශය බවට පත් වේ.