(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන සතියට කල් දැමීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (6) තීරණය කළේය.

මේ අනුව එම විවාදය ලබන සතියේ 18 සහ 19 දිනවල පැවැත්වෙනු ඇත.

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (6) සහ හෙට (7) පැවැත්වීමට මුලින් තීරණය කර තිබුණ.

මෙම පනතට ආණ්ඩු  පාර්ශ්වයේම බොහෝ දෙනකු විරුද්ධත්වය පළ කිරීම නිසා පනත විවාදයට ගැනීම මෙසේ කල් දැමූ බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී  අද (6) පෙරවරුවේ කළ විශේෂ ප්‍රකාශයට අදාළ සභාව කල් තැබීමේ විවාදය ඊයේ පැවැත්වුණු අතර එම විවාදය හෙට (7) දිනයේත්  පැවැත්වීමට නියමිතය.

මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට නොගොස් සම්මත කරන්නේ නම් සංශෝධනය කළ යුතු කරුණු ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායකවරයාට පසුගියදා බාර දෙනු ලැබීය.