(ඩයනා උදයංගනී)

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව හෝ අතුරු වාර්තාවක් ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර පාර්ලිමේන්තුවට ගෙන එන්නට ඉඩ දෙන්නේ නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර තේරීම් කාරක සභාවේ වාර්තාවක් ඉදිරිපත් කර රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා සුද්ද කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බව කී මහලේකම්වරයා එයට ඉඩ නොදෙන බව ද කීවේය.

එම වාර්තාව එළිදැක්විය යුත්තේ විශ්වාසභංගයට පසුව බව කී දයාසිරි ජයසේකර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද එම ස්ථාවරයේ සිටින බව සඳහන් කළේය.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ප‍්‍රහාරය ගැන සෙවීම සඳහා පත්කර ඇති තේරීම් කාරක සභාවේදී බදියුදීන් ඇමැතිවරයාට එල්ල වී ඇති චෝදනා ගැන සාකච්ඡා කළ නොහැකි බව කී ජයසේකර මහතා එහිදී කළ හැක්කේ එල්ල වූ ප‍්‍රහාර සම්බන්ධයෙන් හා ඒවාට වගකිව යුතු නිලධාරීන් සිටිනවාද ආදිය ගැන සෙවීම පමණක් බව ද පැවසීය.

මෙයට ආණ්ඩුකාරවරු ඇමැතිවරු කැඳවිය හැකි අයුරින් සංශෝධන ගෙන ඒම වැරදි බව ද මන්ත‍්‍රීවරයා කීවේය.

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට විරුද්ධව ඇති විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිතා කිරීම සම්බන්ධයෙන් ද පක්‍ෂ මධ්‍යම කාරක සභාව එක්වී සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව කී දයාසිරි ජයසේකර මහතා ඇමැතිවරයා වරදක් කර ඇත්නම් ඔහුට විරුද්ධව කටයුතු කිරීමට පැකිලෙන්නේ නැතැයි ද සඳහන් කළේය.

පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගන්නා තීන්දු සමඟ මන්ත‍්‍රී කණ්ඩායම බැඳී සිටිය යුතු බවද මහලේකම්වරයා ප‍්‍රකාශ කළේය.

ආණ්ඩුකාරවරුන් වන එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, අසාත් සාලි යන මහත්වරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පියවරක් නොගන්නේ ඇයි දැයි මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ඔවුන්ට චෝදනා ඇත්නම් නීතිය ක‍්‍රියාත්මක කළ හැකි බවයි.