(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

 පොලිස් සංස්කෘතික කොට්ඨාසයට අනුයුක්ත උපසේවා කොස්තාපල්වරයකු  තලංගම අකුරේගොඩ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී  විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයකු පැදවූ ජිප් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව තලංගම පොලිසිය කියයි.

අනතුරින් තුවාල ලබා ඇත්තේ උපසේවා කොස්තාපල් 43015 විතානගේ සංජු  උෂාන් නැමැති 25 හැවිරිදි  නිලධාරියාය. අනතුර සම්බන්ධයෙන් 68 හැවිරිදි විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

තුවාල ලද නිලධාරියා සේවා ස්ථානයෙන් පිටවීමේ සටහන් යොදා සිවිල් ඇඳුමින් සැරසී ඔහුට අයත් යතුරුපැදියෙන් පැවැත්වෙන සංස්කෘතික උත්සවයක් සඳහා අවශ්‍ය ඇඳුම් රැගෙන ඒම සඳහා ඔහු පදිංචි පාදුක්ක බෝපේ  නිවස කරා යාමට  අකුරේගොඩ යුද හමුදා කඳවුර දෙස සිට මාලවේ දෙසට යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී. ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණ තිබූ සැකකාර විශ්‍රාමිකයා පැදවූ  ජීප් රථය  ගැටී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත