(සුජිත් හේවාජුලිගේ )

බොහෝ රාජ්‍ය ආයතනවල දුරකතන අංකවලට ඒවායේ නිලධාරීන්  ප්‍රතිචාර නොදැක්වීම නිසා තමන් දැඩි දුෂ්කරතාවයට පත්වන බව ජනතාව චෝදනා කරති.

සමහර ආයතනවල ජනතාව වෙනුවෙන් හඳුන්වාදී ඇති ක්ෂණික දුරකතන (Hot Line) අංක පවා  ක්‍රියාත්මක නොවන බව ඔවුහු සඳහන් කරති.

විශේෂයෙන්ම විශ්‍රාම  වැටුප් දෙපාර්තමේන්තුවේ දුරකතන අංක බොහොමයක් පසුගිය දින කිහිපයේදී ක්‍රියාත්මක නොවීමෙන්
ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්වූහ.

එම දෙපාර්තමේන්තුවේ 1970 ක්ෂණික දුරකතන අංකය පවා  නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව පවසන ජනතාව අද (13) දිනයේද එම දුරකතනය ක්‍රියාත්මක නොවූ බව සඳහන් කරති.

එසේම එහි මධ්‍යගත  අංශයට ඊයේ දවස පුරා දුරකතන ඇමතුම් ගත්තද එම කිසිම ඇමතුමකට එහි නිලධාරීන් පිළිතුරු ලබා නොදුන් බව එම අංශයේ සේවය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයෙක් ලංකාදීපයට පැවැසීය.

මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසුවේ  දුරකතනවල යම් ගැටලූවක් පවතින බවයි.

රාජ්‍ය ආයතන මේ ආකාරයට කාර්යක්ෂම ලෙස වැඩ කරන්නේ නම් රටක් දියුණු කරන්නේ කෙසේදැයි  එම ජනතාව ප්‍රශ්න කරති.

මේ අතර රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය දෙන බොහෝ දුරකතන අංකද ක්‍රියාත්මක නොවන ඒවා බව ඔවුහු වැඩිදුරටත් චෝදනා කරති.