( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් අධි රක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස වනජීවි අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා  ගොනු කර තිබෙන පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අභියාචනාධිකරණය හමුවේ අකැමැත්ත පළ කර ඇත.
 
මේ අනුව එම රීට් පෙත්සම නැවත විභාගයට ගැනීමට අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න  යන මහත්වරුන් අද (28) තීන්දු කරන ලදී.
 
පරිසර යුක්ති කේන්ද්‍රය මගින් ඉදිරිපත් කළ මෙම පෙත්සම මුලින්ම අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉදිරියේ විභාග කර අවසන් කර තිබූ අතර එහි තීන්දුව ලබන අගෝස්තු  6 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.
 
එහෙත්  මෙම නඩුව විභාගයට ගැනීමට අකැමැත්ත පළ කර ඇති බව දැනුම් දීමත් සමඟ එය නැවත විභාග කිරීමට තීරණය වී ඇති අතර එම නැවත විභාගය ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ජුලි 31 දා පැවැත්වීමට අධිකරණය නියම කළේය.
 
පරිසර යුක්ති කේන්ද්‍රය මගින් මෙම නඩුව 2015 වසරේ අභියාචනාධිකරණය හමුවේ ගොනු කෙරුණු අතර එමඟින් සඳහන් කර තිබුණේ විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය එළි කර ඒ තුළ අනවසර ඉදිකිරීම් සිදුකිරීම හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදුව ඇති බවයි.

එම නිසා අදාළ වනාන්තර එළි කිරීම නීතිවිරෝධී බවට තීන්දු කර දැනට සිදුකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා තිබිණි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ,අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසක් නම් කර ඇත.