(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

භූ විද්‍යා පර්යේෂණ හා පතල් කාර්යාංශයේ නිකුත් කරනු ලබන බලපත්‍ර ව්‍යාජ ලෙස මුද්‍රණය කර දිවයින පුරා මුදලට අලෙවි කිරීමේ යෙදුණු කුරුණෑගල දඹුල්ල පාරේ මුද්‍රණාලයක් වැටලූ බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.

එම වැටලීමේදී මුද්‍රණාලයේ හිමිකරු මුද්‍රණය කර තිබූ ව්‍යාජ බලපත්‍ර 102 ක් ,මුද්‍රණ යන්ත්‍ර,ව්‍යාජ බලපත්‍ර යොදාගෙන වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ දෙකක් සහ එහි රියදුරන් ඇතුළු මුද්‍රණය කිරීමට යොදා ගන්නා කඩදාසි ඇතුළු අමු ද්‍රව්‍ය රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

ව්‍යාජ ලෙස ඛනිජ හා වැලි බලපත්‍ර මුද්‍රණය කර මුදලට අලෙවිකරණ මුද්‍රණාලය පිළිබඳ පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.

එහි දී අත්අඩංගුවට ගත් මුද්‍රණාල හිමිකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ව්‍යාජ බලපත්‍ර 50 ක් අඩංගු පොතක් රුපියල් 5000 මුදලකට අලෙවි කළ බවත් මෙම ජාවාරම වසරකට පමණ කාලයක සිට කරගෙන ගිය බවත් ප්‍රකාශ කර ඇත.