(අංජුල මහික වීරරත්න)

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් මෙරට වෙරළ තීර 28 ක් නිල්ධජ වෙරළ තීර බවට පත් කිරීමට අවධනය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එහි මුල් අදියර යටතේ උණවටුන, බෙන්තොට, පාසිකුඩා හා ආරුගම්බේ යන වෙරළ තීර වල නිල්ධජ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එම වෙරළ තීරයන් තෝරාගෙන ඇත්තේ සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් මතයි.

සංචාරක අමාත්‍යාංශය විසින් මේ වන විටත් රුපියල් මිලියන 32 ක මුදලක් ආරුගම්බේ හා පාසිකුඩා නිල්ධජ වෙරළ තීර වැඩසටහන වෙනුවෙන් වෙන් කර තිබේ. අදාල මුදල් දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට මුදාහැර ඇති බව පවසන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නියාමන ව්‍යාපෘතියක් වන පාසිකුඩා වෙරළ තීරය මෙම වසර අවසාන වන විට නිල්ධජ වෙරළ තීරයක් බවට පත් කිරීමට හැකිවනු ඇතැයි ද පවසයි.

ශ්‍රී ලංකාවේ තෝරාගත් වෙරළ කලාප  නිල්ධජ වෙරළ තීර නිර්ණායක සපුරාලීමෙන් සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට හැකිවන අතර එමගින් එම කලාපවල පරිසරය ආරක්ෂා කිරීම, සංචාරකයන් සදහා ප්‍රමාණවත් පහසුකම් සැපයීම, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම හරහා සංචාරක කර්මාන්තයේ දියුණුව සමගම අදාල කලාපයේ ජනතාවගේ ජීවන තත්ත්වය ද ඉහළ නැංවීමට ද හැකියාව ලැබෙන බව හඳුනාගෙන ඇත.

වෙරළ කලාපයට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීම සදහා ක්‍රියාත්මක වන වැඩසටහනක් වන නිල්ධජ වෙරළ සහතික කිරීමේ වැඩසටහන ලෝකයේ සංචාරකයින් අතර ප්‍රචලිත පරිසර හිතකාමී සන්නාමයකි. නිල්ධජ සහතිකයක් ලබා දෙන්නේ ජලයේ ගුණාත්මකභාවය, පරිසර කලමනාකරණය, පරිසර අධ්‍යාපන තොරතුරු හා ජනතාවගේ ආරක්ෂාව යන ප්‍රධාන අංග හතර යටතේ වූ නිර්ණායක 32 ක් සපුරාලීම මගිනි.

ලොව පුරා රටවල් 50 කට වඩා වැඩි සංඛ්‍යාවක මෙම වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකය.