(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ පල කරනු ලබන දැන්වීම් මගින් සම්බන්ධ කරගනිමින් සෝයා මීට් නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා ඉහළ මුදලක් ලබාදෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සිදු කර වරෙන්තු 59 ක් නිකුත් කර තිබූ ඇති  කාන්තාවක ජා-ඇල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක් වශයෙන් සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

(41) වැනි වියේ පසු වන සැකකාර කාන්තාව කඩවත, සූරියගම ප්‍රදේශයේ ස්ථිර වශයෙන් පදිංචිව සිට කුලී පදනම මත ලබාගත් නුගේගොඩ නාවල පාර නිවසේ සිට මෙම මහා පරිමාණ වංචාව සිදුකර ඇතැයි පොලිසිය කියයි.

මෙම ව්‍යාපාරය පිරමීඩ ක්‍රමයට පවත්වාගෙන යන එකක් බවට විශේෂයෙන් හඳුන්වා දී ඇති බවත් එම ක්‍රමය අනුව ඉහළින් සිටින පුද්ගලයාට වැඩියෙන් මුදල් ලැබෙන බව පවසා මෙම සෝයා නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා භාරදී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.